ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තවත් වගකීමක්

විදේශ රටවල රැකියා කරද්දී ගැබ් ගත් කාන්තාවන් තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව පසුගිය වසර දෙක ඇතුළත වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය පවසන්නේ, එවැනි තත්වයකට පත් කාන්තාවන්ගෙන් කොටසක් ආපසු ගෙන්වා ඇති අතර තවත් පිරිසක් ඔවුන් රැකියා කළ රටවල ජීවත් වෙන බවයි.

නීතිමය ප්‍රශ්න හේතුවෙන් එම කාන්තාවන් ගෙන්වා ගැනීමේ ගැටළුවක් උද්ගතව පවතින බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

ඉහත කී කාන්තාවන්ගෙන් ඉතා සුළු දෙනෙක් තම ස්වාමි පුරුෂයන් සමඟ ජීවත් වෙමින් පවුල් ජීවිතය තුළ ගැබ් ගත් අය වන බව පවසන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය, සෙසු කතුන් ඔවුන්ගේ චර්යාව නිසා එම තත්වයට පත්ව සිටින බවයි සඳහන් කළේ.

මානුෂික අවධානය

මෙම ප්‍රශ්නය මානුෂික මට්ටමින් සලකන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

“මෙම කාන්තාවන් ආපසු ලංකාවට ගෙන්වා ගැනීම දුෂ්කර කාරණයක්. ඒ සඳහා මුදල් වියදම් කළ යුතුයි. ඒ ඒ රටවල බල පැවැත්වෙන නීතිමය තත්වයත් මෙහි බල පැවැත්වෙනවා.” මංගල රන්දෙනිය පෙන්වා දෙයි.

“අවිවාහක කාන්තාවක් ගැබ් ගැනීම වරදක් හැටියටයි ඇතැම් රටවල් සලකන්නේ. එවැනි රටවල එය සිරගත කරනු ලැබීමට පවා හේතු විය හැකි වරදක්. එම නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන මෙන් විදේශ රටවල රැකියා කරන කාන්තාවන්ගෙන් විදේශ නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටිනවා.” එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය සිහිපත් කරයි.

කාන්තාවන් පමණක් නොව විදේශ රැකියාවන්ට යන පුරුෂයන් ද ඇතුළුව දෙපාර්ශ්වයම විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙන බවයි ඔහු වැඩි දුරටත් සන්ධාන කළේ.