ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘පාර්ලිමේන්තු කාරක සභාවට යාම මෝඩ කමක්’ -TNA

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරන ලද යෝජනාව පිළිබඳව උතුරු නැගෙනහිර ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් දෙමළ ජාතික සන්ධානය විසින් ආරම්භ කරනු ලැබුණි.

මැයි මස තිස් එක්වෙනි දින අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ සහ මඩකලපුවේ ආරම්භ කෙරුණ මෙම දැනුවත් කිරීමේ වැඩ සටහනට දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සහභාගී වූ බවයි වාර්තාව ගෙනෙන ශාන්ති සෙල්වදුරෙයි පවසන්නේ.

මෙම සැලැස්ම යටතේ ජිනීවා යෝජනා ගැන පලාතෙන් පලාතට ගොස් මහජනතාව දැනුවත් කරන බවයි,පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් බීබීසියට කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අදාළ පරීක්ෂණ ආරම්භ කිරීමට සූදානම් වෙන තත්වයක් යටතේ ජනතාව දැනුවත් කිරීම වැදගත් වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දහතුන් වෙනි සංශෝධනය

පාර්ලිමේන්තු කාරක සභාවට එන මෙන් ඉල්ලීම් කෙරුණත් දැනට ඇති දහතුන් වෙනි සංශෝධනයත් අහෝසි කිරීමේ අරමුණක් සහිත පාර්ලිමේන්තු කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගී නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියි.

එවැනි මෝඩකම් දෙමළ ජාතික සන්ධානය නොකරන බවයි ,මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

එම කාරණය ඉන්දීය ආණ්ඩුවත් තේරුම් ගෙන ඇති හෙයින් පාර්ලිමේන්තු කාරක සභාවට සහභාගී වෙන ලෙස ඉන්දියාව තමන්ට දැනුම් දී නැති බවත් මන්ත්‍රීවරයා පවසයි.