ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුරාම් ෂයික් ඝාතනය - ඩීඑන්ඒ සාම්පල ගැලපෙයි

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතනය සිදුවූ ස්ථානයේ තිබී සොයා ගත් ලේ පැල්ලම් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුගේ රුධිරය හා ගැලපෙන බව ඩීඑන්ඒ පරීක්ෂණවලින් හෙළි වෙයි.

අදාළ නඩුව කොළඹ මහාධිකරණයෙදී අද විභාගයට ගත් අවස්ථාවේදී ඩීඑන්ඒ පරීක්ෂණ පැවැත්වූ කැලණිය විශ්ව විද්‍යාලයේ අණුක වෛද්‍ය පිටයේ මහාචාර්ය නිල්මිණි ගුණරත්න සාක්කි දෙමින් ඒ බව ප්‍රකාශ කළේය.

අපරාධය සිදුවූ ස්ථානයේ තිබී සොයා ගත් බෝතල්, සහ අසල වාහනයක තිබී සොයාගත් ලේ පැල්ලම් ඩීඑන්ඒ පරීක්ෂණයට භාජනය කර තිබේ.

ඒවා දෙවන තුන්වන සහ හතරවන විත්තිකරුවන්ගේ රුධිරය සමග ගැලපෙන බව සාක්කිකාරිය කියා සිටි බවයි නීතිවේදියා ප්‍රකාශ කළේ.

මහාචාර්ය නිල්මිණි ගුණරත්න සාක්කිදෙමින් කියා සිටියේ අපරාධය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් ලේ පැල්ලම් 03 ක් විත්තිකාර සම්පත් විදානපතිරනගේ රුධිරය සමග ගැලපෙන බවයි.

දෙවන විත්තිකාර සමන් දේශප්‍රිය ගේ රුධිරය සමග අපරාධය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් ලේ පැල්ලම් 05 ක් ගැලපෙන බවකි සාක්කිකාරිය හතරවන විත්තිකාර ප්‍රගීත් චතුරංගගේ රුධිරය සමග ලේ පැල්ලම් 01ක් ගැලපුණු බවයි කියා සිටියේ.

රජයේ නීතිවේදියා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහාචාර්යවරිය කියා සිටියේ මෙම ගැලපීම් සියයට 99.9% ක් දක්වා ඉහල මට්ටමක පැවති බවයි.

2011 වසරේ දෙසැම්බර් මස 24 වනදා තංගල්ල නිවාඩු නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතනය කර, ඔහුගේ පෙම්වතිය දුෂණය කලේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.