ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද හමුදාව සිවිල් කටයුතුවලට

  • 2014 ජුනි 26
Image copyright AFP

තිස් අවුරුදු යුද්ධයක අමිහිරි අත්දැකීම් ඇති ශ්‍රී ලංකා යුද හමුදාව විවිධ ජන කොටස් අතර අලුතින් මතු වෙමින් පවතින ප්‍රශ්න තවත් වැදීමට ඉඩ නොදී ඒවා සමනය කිරීමට මැදිහත් වෙන බව ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක පවසයි.

ශ්‍රී ලංකා ඉස්ලාමීය ජමියතුල් උලමා සංවිධානය විසින් දෙහිවල ප්‍රධාන මුස්ලිම් පල්ලියේ කැඳවනු ලැබ තිබුණ හමුවකට සහභාගී වීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමිනුයි ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා එම ප්‍රකාශය කළේ.

අන්‍යෝන්‍ය විශ්වාසය

“ප්‍රශ්න වලට සම්බන්ධ විවිධ පාර්ශවයෙන් සමඟ කතා කොට ඔවුන් අතර විශ්වාසය සහතික කිරීමට පියවර ගැනීම වැදගත් වන බවයි” ලුතිනන් ජනරාල් දයා රත්නායක පෙන්වා දෙන්නේ.

ඇතැම් කණ්ඩායම්වල ප්‍රහාර නිසා පසුගියදා අලාභ හානි සිදු වූ ආගමික ආයතන සහ පෞද්ගලික දේපොළ පිළිසකර කිරීමට අවශ්‍ය අරමුදල් රජයෙන් ලැබී ඇති අතර ත්‍රිවිධ හමුදාවේද සහභාගිත්වයෙන් මසක් ඇතුළත එම පිළිසකර නිම කරන බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

යුද හමුදාව මෙවැනි සිවිල් කටයුතුවලට සහභාගී වීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක පවසයි.