ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වඳුරෝ කතරගමට

දහස් ගණනක ජනකායක් දිනපතා පැමිණෙන කතරගම පුදබිම සහ අවට ගම් ‘වදුරන්’ ගේ ආක්‍රමණයට හසුවීමෙන් වැසියන් සහ බැතිමතුන් විශාල අපහසුතාවට පත්ව ඇත.

කතරගම, සෙල්ලකතරගම, කිරිවෙහෙර, වැඩිහිටි කන්ද, ආදී ආගමික ස්ථානවල මෙන්ම කතරගම නගරය අවට ගම්මාන රැසකට මෙම ‘වඳුරු’ කරදරය තදින් බලපා ඇත. පුද බිම් ප්‍රදේශයේ පූජා වට්ටියක් හෝ පළතුරු සහිත කවරයක් අතැතිව වැඩිහිටියෙකුට පවා තනිව යා නොහොහැකි අන්දමට මේ ‘වඳුරු’ කරදරය බලවත් වී ඇත.

“කඩේක පූජා වට්ටියකවත් පළතුරු තියා ගන්න අමාරුයි. ටිකක් එහා මෙහා උනොත් අරගෙන පනිනවා. සමහරුන්ගේ මුදල් පසුම්බි, අත් බෑග්, කැමරා වගේ දේවලුත් අරන් යනව. වාහනවල පැති කන්නාඩි වගේ දේවල් කඩනවා. වීදුරු කඩනවා. විශාල හානියක් කරන්නේ” වසර හතළිහකට වැඩි කාලයක් කතරගම පළතුරු වෙළෙන්දෙක් ලෙස කටයුතු කරන එච්.කේ.ප්‍රේමදාස පවසයි.

පූජා වට්ටියටත් වඳුරු ඇස

කතරගම මහ දේවාලය සහ කිරිවෙහෙර භූමියේ ස්ථාපිත කර ඇති ආරක්ෂිත කැමරා, විදුලි පහන් ආදියද ‘වඳුරන්ගේ’ ප්‍රහාරයන්ට නිතර ලක්වන බව එහි කාර්ය මණ්ඩල පවසති.

Image caption වඳුරන්ට පළතුරු සංග්‍රහයක්

වන්දනාවේ එන බැතිමතුන් ‘වඳුරන්ගේ’ සපාකෑම්වලට ලක්වූ අවස්ථා ද වාර්තා වී ඇත.

අවට ගම්වැසියන්ට වගාවක් කර ගැනීමට ‘වඳුරන්’ ඉඩ නොදෙන බව ඔවුහු කියති. පූජා කරන්න මලක් පවා තැබිය නොහැකි තත්වයක් පවතින බවයි ගැමියන් පවසන්නේ.

‘ගෙවල්වල කවුරුවත් නෑ කියල දැනුනොත් වඳුරෝ කොහොම හරි කුස්සිවලට රිංගල බත් මුට්ටි පවා අර ගෙන යනවා. වහලයේ උළුකැට කඩනවා. පොල් ගහක ඇට්ටියක් තියන්නේ නෑ. වතු පාලු කරනවා. මේ ‘වඳුරු’ කරදරයට ඉක්මන් විසදුමක් නොදුන්නොත් මුළු කතරගම ප්‍රදේශයම වැඩි කාලයක් යන්නට ඉස්සර ‘වඳුරු පුරයක්’ වනු ඇත යන්න ලුණුගම්වෙහෙර, බෙරලිහෙල, පී.ගුණපාල ගේ අදහසයි.

කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස හිමියන් පැවසුවේ කතරගම ‘වඳුරන්ගේ’ ව්‍යාප්තිය අනාගත අභියෝගයක් විය හැකි බවයි. ජනතාවගේ සෞඛ්‍යයටද බලපෑමක් වනු ඇතැයි ද උන්වහන්සේ අනතුරු ඇඟවුහ.

මහජන සෞඛ්‍යය අනතුරේ

Image caption මේ පළතුරු වඳුරන්ට නොව දෙවියන්ටයි.

‘’මේ වඳුරෝ නිසා ජලභීතිකාව පැතිර යන්න පවා ඉඩ තියනවා. වඳුරන්ගේ සපාකෑම් වැඩි වෙනවා. මේ ප්‍රශ්නය කට කියන්නද කියන එකයි ගැටලුව. පුජා වට්ටිවල ඉවත දාන පළතුරු දවස් දෙක තුන තැන් තැන්වල තියනවා. ඒවා කන්න තමයි වඳුරෝ එන්නේ. කැලෑවට වඩා උන්ට කන්න දේවල් මේ පුජා භුමියේ තියනවා. දැන් මේ වඳුරු ගැටලුව ඔඩු දුවපු ප්‍රශ්නයක්. රට පුරා ඩෙංගු උණ වසංගතය වගේ ‘ජලභීතිකාව’ රටට වසංගතයක් වෙන්නේ කතරගමින් වෙන්න පුළුවන්’ කතරගම කිරිවෙහෙර විහාරවාසි තලගල ඤානින්ද හිමියෝ පෙන්වා දෙති.

වනජීවී දෙපාර්තමේන්තුවේ කතරගම සහකාර අධ්‍යක්‍ෂ කාර්යාලයේ නම සඳහන් නොකරන මෙන් ඉල්ලාසිටි නිලධාරියෙක් කියා සිටියේ වඳුරන් ඉවත් කිරෙමේ වැඩසටහනක් දැනට නොමැති බවයි.

‘යම් ආයතනයක් වඳුරෝ අල්ලන්න උපදෙස් ඉල්ලුවොත් අපි ඒ උපදෙස් ලබා දෙන්න සුදානම්. අල්ලන වඳුරෝ ගිහින් දාන්න තැනුත් හොයල දෙනවා. නමුත් වඳුරන් ඉවත් කිරීම අපිට අයිති දෙයක් .වඳුරෙකුට කරදරයක් උනොත් ඌට ප්‍රතිකාර කිරීම අපිට අයිති දෙයක්. අපි එය සිදු කරනව. ‘වඳුරු ගහනය’ ඉහළයාම සම්බන්ධයෙන් වනජිවියට දොස් තියන එක වැරදියි’ එම නිලධාරියා පවසයි.