ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහනාහිමිවරුන්ගෙන් බොදු බල සේනාවට පණිවුඩයක්

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කණ්ඩායමක් අද බදාදා(13) මහනුවරට ගොස් බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ ගේ හැසිරීම සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කළහ.

ධීවර ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් එම දූත මණ්ඩලයට මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා, පලාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්, දේශීය වෛද්‍ය ඇමති සාලින්ද දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඇතුළු කණ්ඩායමක් එක්ව සිටියහ.

අස්ගිරි පාර්ශවයේ මහානායක අතිගරු උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් සමඟ පැවැත් වූ සාකච්ඡා වලින් අනතුරුව රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කළේ, රටේ නීතිය කඩ කරන භික්ෂුන් වහන්සේට එරෙහිව රජය පියවර ගන්නා මෙන් මහානායක හිමි වරුන් උපදෙස් දුන් බවයි.

ත්‍රෛනිකායික විරෝධය

බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නිකාය තුනේම මහා නාහිමිවරුන් කලකිරීමෙන් පසුවෙන අතර ඊට එරෙහිව ගිහි පැවිදි දෙපාර්ශවය විසින් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමේ වැදගත්කම අස්ගිරි මහ නාහිමියන් පැහැදිලි කළ බවයි රාජිත සේනාරත්න ඇමතිවරයා පවසන්නේ.

මෙම අවස්ථාවේ මාධ්‍යයට ප්‍රකාශයක් කළ මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා බොදු බල සේනා සංවිධානයේ ඇතැම් භික්ෂූන්ගේ හැසිරීම බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් හැටියටයි විග්‍රහ කරන්නේ.