ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දිවි නසා ගැනීම්: ලංකාව ලොව හතර වෙනි තැනට

ශ්‍රී ලංකාව ලොව සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතය ඉහලම රටවල් අතර සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවකින් හෙළි වේ.

වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති සිය දිවි හානි කර ගැනීමේ ප්‍රතිශතය ඉහලම රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසු වන්නේ හතර වන ස්ථානයේ.

පළමු ස්ථානය ගෙන ඇත්තේ ගයානා වන අතර උතුරු කොරියාව සහ දකුණු කොරියාව දෙවන සහ තෙවන ස්ථානයේ පසු වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කර ඇති අධ්‍යනයකදී හෙළි වී තිබෙන්නේ සෑම තත්පර හතලිහකදීම ලෝකයේ යම් පුද්ගලයෙකු සිය දිවි නසා ගන්නා බවයි.

'නරක අතට'

සිය දිවි නසා ගැනීම අතින් ශ්‍රී ලංකාව එවැනි නරක මට්ටමකට වැටීමට පිළිබඳව විග්‍රහයක යෙදුණු වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි සංදේශයට කියා සිටියේ දිවි නසා ගැනීමට සුදානම් වී තමා අමතන බොහොමයක් අය සිටින බවයි.

‘මේ සිය දිවි හානි කර ගැනීමේ ප්‍රවණතාව එන්න එන්නම නරක අතට යනවා. එය බොහොම වේගයකින් නරක අතට යනවා. දශක දෙක තුනක් තිස්සේ අපේ අධ්‍යාපනයට සහ සමාජයට වෙච්ච වැරැද්ද තමයි මේකෙන් නිරූපනය වෙන්නේ.’ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.

කෘමි නාශක

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍යය පිළිබඳ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය ශේකාර් සක්ෂේනා සංදේශයට කතා කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ වැඩිපුරම දිවි හානි කර ගැනීමට භාවිත කර ඇත්තේ කෘමි නාශක බවයි.

‘බොහොමයක් ආසියාතික රටවල් කෘෂි කර්මාන්තය මත පදනම් වී ඇති නිසා කෘමි නාශක විශාල ප්‍රශ්නයක් වෙලා. ශ්‍රී ලංකාවේ කෘමි නාශක ඉතා සුලබව තිබෙනවා. විෂ නසන ඖෂධ වර්ග රෝහල් වලට හඳුන්වාදීම මගින් ජීවිත රාශියක් බේරා ගත හැකියි.’ වෛද්‍ය ශේකාර් සක්ෂේනා පවසයි.

මාධ්‍ය මගින් සිය දිවි හානි කර ගැනීමේ අවස්ථා සවිස්තරාත්මකව වාර්තා කිරීම මගින් පුද්ගලයන් එවැනි සිද්ධි අනුකරණය කිරීමේ ප්‍රවණතාව වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂයකට විසි අටයි දශම නමයක පිරිසක් සිය දිවි හානි කර ගනියි.

සිය දිවි නසා ගැනීම ලොව විශාල සෞඛ්‍ය ගැට‍ළුවක් බවට පත් වී ඇති බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය වස පානය කිරීම, ගෙල වැල දමා ගැනීම, පිස්තෝල මගින් වෙඩි තබා ගැනීම සහ උස් ගොඩනැගිලි සහ කඳු මුදුන් වලින් පැනීම සිය දිවි හානි කර ගැනීමට යොදා ගන්නා සුලබ ක්‍රම ලෙසින් හඳුනා ගෙන තිබේ.