ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මන්ත්‍රීවරයකුට, තානාපතිවරයකුට පහර දිය හැකිද?

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ මහා කොමසාරිස් ක්‍රිස් නොනිස්ට පහරදුන් බවට චෝදනා එල්ලවී ඇති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව රජය වහා ක්‍රියාමාර්ගයක් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

මෙම සිදුවීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශාල ලෙස අපකීර්තියට ලක්ව ඇති බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද බදාදා කොළඹ දී මාධ්‍ය හමුවක දී පැවසුවේය.

ශ්‍රී ලංකාවේ විදේශ සේවා ඉතිහාසයේ මෙවන් සිදුවීමක් කිසි දිනක වාර්තාවී නොමැති බව පැවසූ හිටපු විදේශ කටයුතු නියෝජය අමාත්‍යවරයෙකුද වන ලක්ෂ්මන් කිරිඇල්ල එම සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයාට වහාම දඬුවම් කළ යුතු බවයි කියා සිටියේ.

"ශ්‍රී ලංකා තානාපතිවරයාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් උත්සවයකදී කම්මුලට පහරක් ගැහුවා, ඊට පස්සේ පයිනුත් ගැහුවා, ජනාධිපතිවරයාත් එතන හිටියා විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීනුත් එතන ඉදල තියෙනවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයිතියක් තියෙනවද එහෙම තානාපතිවරයෙකුට පහර දෙන්න," ඔහු ප්‍රශ්ණ කළේය.

දඬුවම්

පහර දුන් මන්ත්‍රීවරයාට එරෙහිව ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කරන්නේදැයි විමසු විට මන්ත්‍රීවරයා පැවසුවේ එම පුද්ගලයාට දඬුවම් කරන ලෙස ජනමාධ්‍ය ආණ්ඩුවට බලපෑම් කල යුතු බවයි.

"ඔය ගොල්ලෝ ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනේ, ඒකටයි මාධ්‍ය ඉන්නේ, අපි බලපෑම් කරන්න තමයි මෙතන ඇවිල්ලා කට ඇරලා කියන්නේ,” කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේය.

පහරදුන් බවට චෝදනා ලබා ඇති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා නම් කිරීම ප්‍රතික්ෂේප කළ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ ජනමාධ්‍යවල ඔහුගේ නම සඳහන් වී නොතිබුණු බවයි.

"ඔය ගොල්ලෝ හැමදාම බලාගෙන ඉන්නේ විපක්ෂයේ වැරදි හොයන්නනේ, මාධ්‍ය හැටියට ඔයගොල්ලෝ කෙලින්ම චෝදනාව එල්ලකරන්න ඕනේ, කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේය.

මෙම පහරදීම සිදු කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන බවට පළවී ඇති මාධ්‍ය වාර්තා පිළිබඳව ඊයේ අඟහරුවාදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ තමන් එවැනි වාර්තාවක් දුටු නමුත් නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවයි.

කණගාටුදායක තත්වයක්

ශ්‍රී ලංකාවේ විදේශ සේවාවේ සියලු තානාපතිවරුන් එක්ව මෙම පහරදීම පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා 80% කට ආසන්න පිරිසක් දේශපාලන පත්වීම් ලබා ඇති ශ්‍රී ලංකා විදේශ සේවය අද කණගාටුදායක තත්වයකට පත්ව ඇති බවයි පැවසුවේ

මෙහිදී බීබීසිය මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ ඥාතීන් විදේශ සේවාවලට පත්කිරීම පිළිබඳව චෝදනා කරන විපක්ෂයේ නියෝජිතයන්ගේ ඥාතීන්ද මෙලෙස ආණ්ඩුවේ දේශපාලන පත්වීම ලබා විදේශ සේවාවට එක්වීම ගැන, පසුගියදා කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කලේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාරගේ පුත්‍රයෙකුට ඩුබායිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දේශපාලන පත්වීමක් ලබා දී ඇති බවයි.

" මම දන්නේ නැහැ මොන පදනමක් යටතේද කියල, විදේශ සේවාවලට ඇතුළු වෙන විභාග තියෙනවා. ඒවාට ඉඳගෙන ගියාද දන්නේ නැහැ, මමත් එක වෙබ් අඩවියක දැක්කා, හැබයි මෙතන වැදගත් වෙන්නේ ලොකු තනතුරු නේ, මගේ පුතෙක් ඉන්නවනම් අවුරුදු 25ක එයා විදේශ සේවාවට යනව නම් එයා සුළු රස්සාවකට, එයා තානාපති වෙලා යන්නේ නැහැනේ"

දේශපාලන පත්වීම්

මෙහිදී සංදේශය විමසුවේ එය දේශපාලන පත්වීමක් නම් එම පත්වීම වැරදි දෙයක් හැටියට මන්ත්‍රීවරයා දකින්නේද යන්නයි.

" මම බලන්න ඕනේ විභාගෙට ඉඳ ගත්තද කියලා, මම ඒක හොයල බලල ඊලග සැරේ කියන්නම්. මම ඕක අධ්‍යයනය කෙරුවේ නැහැ හරියට. මම ඔය ආර්ටිකල් එක දැක්ක. හැබැයි ඔය චන්ද්‍රානි බණ්ඩාරගේ පුතා ගැන විතරයි නේද තියෙන්නේ, ඔය ගොල්ලෝ හදන්නේ මේ සිද්ධිය පෙන්වලා සමස්ත ආණ්ඩුව කරන ඔක්කොම වැරදි දියාරු කරන්නනේ," මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කළේය.