ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම?

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ ඝාතනයට ලක්වූ පාසල් සිසුන්ට ගෞරව වශයෙන් පාකිස්ථාන් අගමැති නවාස් ෂරීෆ් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරිණ.

තාලිබාන් කැරලිකරුවන්, පාකිස්ථාන් හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් සිසුන් එක සිය තිස් දෙදෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ නව දෙනෙක් ඝාතනයට ලක් වූහ.

අගමැති නවාස් ෂරීෆ් සියලු දේශපාලන පක්ෂ සමඟ අද බදාදා සාකච්ඡා කළේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට.

යාඥා මෙහෙයන්

මේ අතර මිය ගිය සිසුන්ගේ අවමංගල්‍ය කටයුතු අද, බදාදා සිදු කළ අතර ඔවුන් වෙනුවෙන් යාඥා මෙහෙයන්ද පවත්වන ලදී.

පාසල් ගොඩනැගිල්ල ඇතුළත ගන්නා ලද ඡායාරූප වලින් මේ ප්‍රහාරයේ කෲරභාවය දක්නට ලැබුන බව පළමු වරට පාසල් ගොඩනැගිල්ලට ගොස් සිදුවී ඇති ඛේදජනක සිද්ධිය දැක බලා ගත් බීබීසී වාර්තාකාරිනී මිෂෙල් හුසේන් පැවසුවාය.

Image copyright AFP

බියකරුබව

පාසලේ පොලොව මත ගලා ගිය රුධිරයත් වෙඩි උණ්ඩ පසාරු කර ගෙන ගිය බිත්තිත් ප්‍රහාරයේ බියකරු බව මවා පාන බවයි ඇය සඳහන් කළේ.

සිසුන් පාසලේ ප්‍රධාන ශාලාවක විභාගයට සූදානම් වෙමින් සිටි ආකාරයත් ශාලාවේ වේදිකාවේ සිට සිසුන්ට වෙඩි තබා ඇති ආකාරයත් විස්තර කළ යුද හමුදා ප්‍රකාශකයෙක් පැවසුවේ එහි තිබී සිසුන්ගේ මල සිරුරු සියයක් පමණ සොයා ගත් බවයි.

මරණ දඬුවම

පාකිස්ථාන් තාලිබාන් කැරලිකරුවන් මෙතෙක් එල්ල කළ දරුණු තම ප්‍රහාරය මෙයයි.

තුවක්කු කරුවන් පන්ති කාමරයෙන් කාමරයට ගොස් සිසුන්ට වෙඩි තබා ඇති බව යුද හමුදා ප්‍රකාශකයා පැවසුවේය.

Image copyright AP

පාකිස්ථාන් අගමැති නවාස් ෂරිෆ් මේ සිද්ධියත් සමඟ මරණ දඬුවම පිළිබඳ පවත්නා නීතියේ වෙනසක් ඇති කිරීමටද පියවර ගන්නා ලදී.

ඒ අනුව ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට මරණීය දණ්ඩනය පැමිණ වීමට දැන් හැකියාව ලැබේ.