ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉල්ලා අස් වන මෙන් අගවිනිසුරුට බලපෑම්

සිය තනතුරෙන් ඉල්ලා අස් වන මෙන් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමය අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස්ගෙන් ඉල්ලීමක් කරයි.

අද, සෙනසුරාදා පෙරවරුවේ හදිසියේ රැස්වූ එම සංගමයේ විධායක කමිටුව ඒකමතිකව මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති නීතිවේදි උපුල් ජයසූරිය ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබුණ පසුගිය නව වනදා අලුයම එම ප්‍රතිඵල වෙනස් කිරීමේ කුමන්ත්‍රණයක අග්‍රවිනිශ්චයකාරවරයා හිටපු ජනාධිපතිවරයා සමග නිරතවී ඇති බවට සාක්ෂි ලැබී ඇති බව සඳහන් කල නීතිවේදි ජයසුරිය එවැනි ක්‍රියාවක නිරතවූ අයෙකු අග විනිසුරුධුරය දැරීමට නුසුදුසු බවයි කියා සිටියේ.

මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මෙන් තම සංගමය අග්‍රවිනිශ්චයකාර මොහාන් පිරිසගෙන් ඉල්ලා සිටියද ඊට මේ දක්වා පිළිතුරක් ලබා දී නොමැති බවයි ඔහු කියා සිටියේ.

එම නිසා මොහාන් පිරිස් සිය ධුරයෙන් ඉලා අස්විය යුතු බවට සිය සංගමය ඉල්ලීම් කරන බව නීතිවේදි උපුල් ජයසුරිය පැවසුවේය.

සදාචාරය

අග්‍රවිනිශ්චයකාරවරයා ඉවත් කිරීමට නිසි නීති ක්‍රියාදාමයක් තිබියදී මෙවැනි ක්‍රියාමාර්ගයක් ගන්නේ ඇයි දැයි විමසා සිටි අවස්ථාවේ ඔහු පැවසුවේ;

“මේක සදාචාරය පිළිබඳ ගැටලුවක්. මෙවැනි පුද්ගලයකු අධිකරණයේ විනිසුරු ධුරයක් දැරීමට සුදුසු නැහැ. ඒනිසා තමා ඔහු තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට අපි ඉල්ලා සිටින්නේ”

අග්‍රවිනිශ්චයකාරවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි තම සංගමයේ අවධානය යොමුව ඇති බවද ඔහු කියා සිටියේය.

මෙම තීරණය අද දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වී දැනුම් දුන් බව කී නීතිවේදී ජයසුරිය ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවට එහිදී අගමැතිවරයා තම සංගමයට පොරොන්දු වූ බවයි කියා සිටියේ.