ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පුතා බිලි ගත් අලින්ටම ගොයම දන් දුන් ගොවියා

සීගිරිය ගෙඩිගස්වලාන ගම්මානයේ වෙසෙන හැත්තෑ පස් වියැති හේරත් මුදියන්සේලාගේ ධර්මසේන දරුවන් අට දෙනෙකුගේ පියෙක්.

වන අලියෙකුට හසු වී ඔහුගේ එක් පුතෙකු ජීවිතක්‍ෂයට පත් වුනේ මීට වසර කිහිපයකට පෙර.

රෝගාතුර වූ බිරිඳ මෙලොවින් සමු ගත්තේ ධර්මසේන ගොවි මහතාගේ දෑතින් වපුල ගොයම කිරි වදින්නටත් කලින්.

සිය ගෙවිලියගේ තුන් මාසේ දානය ගැන කතිකා කර ගැනීමට දරුවන් කැඳවූ මේ ගොවි පියා දොඩමළු වුනේ ඉතා සංයමයෙන්.

තම දෑතින් අවසන් වරට කළ අස්වැද්දුම අලියන් වෙනුවෙන් දන් දී අක්කර භාගයක් වූ කුඹුරු යාය මින් ඉදිරියට අලින් ගේ භෝජනය සඳහා ම වෙන් කිරීමට තමා කැමති බව මේ ගොවි පියා පැවසුවේ දරුවන්ගේ කැමැත්ත අකමැත්ත දැන ගැනීමට.

දරුවන් එක හඬින් තම පියාගේ ආශාව අනුමත කරද්දී මේ තාත්තාගේ දෑසට සතුටු කඳුළු ආ හැටි අපට සිහිපත් කළේ ඔහුගේ සිව් වැනි දරුවා වන හේරත් මුදියන්සේලාගේ උපතිස්ස.

ඔහුත් දරු මල්ලන්ට බත සරි කරන්නේ ගොවිතැනින්.

‘අපි හැමෝම ජීවත් වන්නේ ගොවිතැන් කරලා. ඒත් මේක තාත්තගේ අන්තිම කැමැත්තනේ. තාත්තට ඊළඟ කන්නේ වගා කරන්න අමාරුයි. දැන් වයසයි. තාත්ත අතින් කරපු අන්තිම වගාව ගං අලියන්ට කන්න දීල ඉඩම සින්නක්කරවම අලියන්ගේ පරිභෝජනයට පන්සලට භාර දෙන එක තමයි තාත්තගේ ආසාව.’

උපතිස්සගේ බිරිඳත් අනෙක් දරුවන් හා කරට කර වෙහෙසුනේ මේ දානමය පින් කම, සාංඝික දානයකින් හමාර කර මාමණ්ඩිය සතුටු කිරීමට.

මේ ගොවි තාත්තගේ ඉඩම දරුවන්ට අහිමි වීම ගැන ඔහුගේ ලේලිය රත්නා කුමාරිගේ පවා හිතේ කහටක් නැහැ.

‘අපි නියම බෞද්ධයෝ මහත්තයෝ. අපි මහා මිනිස්සු නොවුනට යහමින් නැති වුනාට නිතරම දනට පිනට එක හිතින්මයි. අපි හැමෝටම ඕන වුනේ තාත්තගේ ආසාව ඉෂ්ට කරන්න.’ (හඬ පටයට සවන් දෙන්න.)

තම කිරි වදින ගොයම සින්නක්කරවම අලින්ට පුජා කරන මොහොත බලා ගැනීමට මුළු ගෙඩිගස්වලාන ගම්මානයම එක් වුණේ එක හිතින්.

කුඹුරට බට අලියන් දෙදෙනා අස්වැන්න බුදින විට අවට රැස් වී සිටි ඇතැමුන් ගේ දෑස කඳුළින් තෙත් වී තිබුණු බව අපට කිව්වේ ප්‍රාදේශීය මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස.

මේ ගැන කතා කිරීමට බීබීසීයේ සිට දුරකතනයෙන් උපතිස්ස සම්බන්ධ කර ගත් විට සිය පියාට දුරකථනය දෙන ලෙස මා ඉල්ලා සිටියේ මාධ්‍යයට ධර්මසේන ගොවි මහතාගේ හඬ ලබා දීමේ අරමුණින්.

උපතිස්ස එය පැහැදිලි කරන ආකාරය මටත් කන් වැකුණු අතර ගොවි තාත්තාගෙන් පිට වුණේ මේ වදන්.

‘පුතේ ඒ මහත්තයට කියපන් මං බුදුන් වැඳලා ආවට පස්සේ විස්තරේ කියන්නම් කියල.’

මාධ්‍යයට ඉදිරියේ කතා කිරීමට වඩා ඔහුට වැදගත් වුණේ වෙලාවට බුදුන් වැඳීම.

ජනප්‍රියත්වය උදෙසා පිංකම් කරන බෞද්ධයන් සපිරි රටක මෙවන් සැබෑ මිනිසෙකුගේ හඬ ඈත සිට හෝ කන් වැටෙන්නට තරම් මම පින් කර ඇත්තෙමි.

-තිසර රතුවිතාන.