ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යේමනයෙන් ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ උත්සාහයක්

සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම් ලත් අරාබි රාජ්‍ය සන්ධානයේ යුද ගුවන් යානා යේමනයේ ජනාධිපති අබ්ද් රාබුහ් මන්සූර් හාඩි (Abd Rabbuh Mansour Hadi) පදවියෙන් නෙරපා හැරීමට මුල් වූ යේමනයේ ෂියා ඉස්ලාමීය ‘හූති ’ (Houthi) කැරලිකරුවන්ට තවදුරටත් පහර දෙමින් සිටී.

සෞදි අරාබිය ඉකුත් දා ප්‍රකාශ කළේ, සනා (Sanaa) අගනුවර මිසයිල ප්‍රහාරක පහසුකම් සහ යුද ගුවන් යානා විනාශ කර දැමූ බවයි.

ගුවන් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මිය ගොස් ඇති බව පවසන ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර සිටී.

යේමනයේ සේවය කිරීමට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් රැසක්ද මේ ගැටුම් හේතුවෙන් අනාරක්ෂිත තත්වයක පසු වෙති.

එම පිරිස ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිණිස ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගේද සහය ඇතිව පියවර ගනිමින් සිටියි.

Image copyright EPA

යේමනයේ සේවයේ නිරත උජාල පෙරේරා තානාපති කාර්යාලය සමඟ මේ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින අතර ඔහු පැවසුවේ ඉන්දීය බලධාරීන්ගේ සහය ඇතිව ඉන්දීය ගුවන් යානා මගින් ශ්‍රී ලාංකිකයන්ද ආපසු යැවීමට මේ වනවිට උත්සාහයන් ගෙන ඇති බවයි.

යේමනයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරැ රැස්කරමින් සිටින බව පැවසූ ඔහු මේ වන විට යේමනයේ විවිධ පලාත්වල සිටින ශ්‍රී ලාංකිකයන් 62 කුගේ තොරතුරු තමන්ට ලැබී ඇති බව පැවසුවේය.

ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව එහි වෙසෙන සියලු දෙනාගේම ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවත් නිරත උජාල පෙරේරා ප්‍රකාශ කළේය.