ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

20 වන ව්‍යවස්ථා සංශෝධනය අවසන් තීරණය ලබන සතියේ

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ගැනීමට නියමිත බව රජය පවසයි.

රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද බ්‍රහස්පතින්දා කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

මැතිවරණය ක්‍රමය වෙනස් කිරීම සඳහා වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බදාදා රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ බවයි ඔහු පැවසුවේ.

දීර්ඝ සාකච්ඡාවකින් පසු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇති කර ගැනීම පිණිස ජනාධිපති, අගමැති, සුළු පක්ෂ නියෝජිතයින් හා අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.

ආසන 225 - 255

බදාදා රැස් වුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කැබිනට් සංදේශයට කරුණු 15 ක් අඩංගු වූ බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව දැනට තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 225 සිට 255 දක්වා වැඩි කිරීමට එකඟතාවක් ඇති කර ගත් බව පැවසුවේය.

එසේම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 5% සිට 1.5% හෝ 1% දක්වා අඩු කිරීමටද යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව පැවසූ අමාත්‍යවරයා කේවල හා බහු ආසන වශයෙන් මන්ත්‍රීවරුන් 165 දෙනකු පත් කර ගැනීම ගැනද යෝජනාවල ඉදිරිපත්ව ඇති බවයි කියා සිටියේ.

කාන්තා නියෝජනය

ඉදිරි පාර්ලිමේන්තුවට වැඩි කාන්තා නියෝජනයක් හිමි වනු ඇති බවත් ඒ සඳහාද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවත් අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

"සියයට 5 යි 10 යි අතර ප්‍රමාණයක් කාන්තා නියෝජනයක් යෝජනා කරලා තියෙනවා ආසන මට්ටමෙන්, දිස්ත්‍රික් මට්ටමේ ලැයිස්තුවෙන් 1/3 කුත්, ජාතික ලැයිස්තුවෙන් වැඩි කාන්තා නියෝජනයකුත් ලබා දෙන්න යෝජනා වෙලා තියෙනවා," ඔහු පැවසුවේය.

විපක්ෂයට අවශ්‍ය වන්නේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමද නැතිනම් 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමද යන්න තීන්දු කර දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ බදාදා කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කළේය.