ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"පටු අරමුණුවලට ආගමික සිද්ධස්ථාන යොදා ගනු එපා "

ආගමික සිද්ධස්ථාන දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ලබා නොදෙන්නැයි රජය ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටියි.

කිසිදු දේශපාලනඥයකුට හෝ දේශපාලන පක්ෂයකට තම පටු අරමුණු ඉටු කර ගන්නා ස්ථාන ලෙස ආගමික සිද්ධස්ථාන යොදා ගැනීමට ඉඩ නොදෙන ලෙස මහා සංඝරත්නයෙන් හා අනෙකුත් ගෞරවනීය ආගමික නායකයන්ගෙන් ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඉල්ලා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විහාරස්ථානවල බෝධි පූජා නාමයෙන් පරාජිත දේශපාලනඥයන් දේශපාලනය කරන බවයි.

සාමය, සහජීවනය වෙනුවට වෛරය, ක්‍රෝධය වපුරන මධ්‍යස්ථාන බවට අද පොදු සිද්ධස්ථාන යොදා ගන්නා ආකාරයක් දක්නට ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා සියළු දේශපාලන පක්ෂවලින්ද ඉල්ලා සිටියේ දේශපාලන වැඩ කටයුතු සඳහා ආගමික සිද්ධස්ථාන යොදා නොගන්නා ලෙසයි .

ඉතිහාසය

බෝධි පූජා තබමින් පන්සල් තුළ දේශපාලනය කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චෝදනා කරන්නේ ඉතිහාසය නොදන්නා පිරිසක් බවයි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ පැවසුවේ.

‘අභයාරාමයේ දේශපාලනය කරනවා, බෝධි පූජා තියමින් දේශපාලනය කරනවා කියලා සමහරු චෝදනා කරනවා. අපේ රටේ දේශපාලනය කරන්නේ පන්සලේ තමයි. මහා වංශය කියවල බලන්න, රජවරු බිහි කරන්නේ රජවරු එළවන්නේ පන්සලෙන්, උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා සඳහන් කළේය