ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දෙපාර්ශවයේ අන්තවාදීන් අකුල් හෙළනවා - මංගල

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2014 වසර සදහා නිකුත් කළ වාර්තාවක් පදනම් කරගනිමින් වර්තමාන ආණ්ඩුව යටතේ ජාතික ආරක්ෂාව අනතුරේ ඇති බවට විපක්ෂය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.

අද, බදාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දීයි ඔහු මෙම අදහස් පල කළේ.

මහින්ද රාජපක්ෂ රජයේ ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙළ සම්පුර්ණයෙන් අසාර්ථක බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගෝලීය ත්‍රස්තවාදය පැතිරෙන ආකාරය පිළිබඳව නිකුත් කළ වාර්තාවෙන් පෙන්නුම් කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පැවසුවේය.

2014 වාර්තාවක්

මෙම වාර්තාව උපයෝගීකර ගෙන තම රජයට චෝදනා කිරීමට විපක්ෂය උත්සාහ කරන්නේ එය 2014 වසරේ ඔවුන්ගේ පාලන කාලය පිළිබඳව නිකුත් කළ වාර්තාවක් යැයි නොදැන දැයි විදේශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.

කොටි සංවිධානය හමුදාමය අතින් පරාජය වුවත් එහි අන්තර් ජාතික ජාලය සහ මූල්‍ය ආධාර වැඩ පිළිවෙළ තවමත් සක්‍රීයව පවතින බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2014 වසර සදහා නිකුත් කළ වාර්තාවේ සදහන් වන්නේ.

විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2014 වාර්තාවේ පමණක් නොව 2012, 2013 වසර වල වාර්තාවලින්ද පෙන්නුම් කරන්නේ ත්‍රස්තවාදය මැඩලීමට පසුගිය රාජපක්ෂ රජය ගත් ක්‍රියාමාර්ගවල අසාර්ථකත්වය බවයි.

දෙමළ හා සිංහල අන්තවාදීන්

විදේශ ගත ශ‍්‍රී ලාංකිකයින් රටේ සංවර්ධනය සඳහා දායක කර ගැනීම සඳහා තමන් ගෙන යන වැඩපිළිවෙළට දෙමළ හා සිංහල අනත්වාදීන් විරෝධය දක්වන බව පැවසූ අමාත්‍යවරයා මේ අන්තවාදී කොට්ඨාශ දෙකම පෝෂණය වන්නේ එකිනෙකාගෙන් බවයි අවධාරණය කලේ.

ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහ ශ්‍රී ලංකාවේ සිට තම වැඩපිළිවෙළ විවේචනය කරන විට ජාත්‍යන්තර දෙමළ ඊලාම් සංවිධානයේ රුද්‍රකුමාර්ද ශ්‍රී ලංකාවෙන් පිටත සිට තමන් විවේචනය කරන බව පැවසූ අමත්‍යවරයා මේ දෙපිරිසම එකම කාසියේ දෙපැත්තක ලෙසයි හැදින්වුයේ.

ජාතික හෙළ උරුමය චෝදනා කරන පරිදි ශ්‍රී ලංකාවේ ඩයස්පෝරා සැණකෙළිය පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් කිසිදු මූල්‍ය ආධාරයක් ලබා දී නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විදේශ ගත ශ‍්‍රී ලාංකිකයින් රටේ සංවර්ධනය සඳහා දායක කර ගැනීම පිණිස තමන් ගෙන යන වැඩපිළිවෙළට දෙමළ හා සිංහල අන්තවාදීන් විරෝධය දක්වන බව පැවසූ අමාත්‍යවරයා මේ අන්තවාදී කොට්ටාශ දෙකම පෝෂණය වන්නේ එකිනෙකාගෙන් බවයි අවධාරණය කලේ