ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දිවියෙන් සමු ගත් දයා රාජපක්‍ෂ

කාටූන් සහ සිංහල චිත්‍ර කතා කලාවේ පුරෝගාමියෙකු වූ දයා රාජපක්ෂ අභාවප්‍රාප්ත විය.

සිය ජීවිතයේ අවසාන කාලපරිච්ඡේදය දක්වාම රසිකයන් පිනවමින් සිටි දයා රාජපක්ෂ චිත්‍ර කතා ශිල්පියා මියයන විට 78 වන වියේ පසු විය.

හැටේ දශකයේ දී ලේක්හවුස් ආයතනයේ සේවය කළ ඔහු එහි ප්‍රථම චිත්‍ර කතා පත්‍රය වන ‘සතුට’ ඔස්සේ මහත් ජනාදරයට පත් විය.

මෙරට පලවු පළමු වර්ණ චිත්‍ර කතාව වන ‘පරිත්‍යාගය’ ද ඔහුගේ නිර්මාණයකි.

චිත්‍ර කතා ඇසුරින් බිහි වූ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය වැඩිම ප්‍රමාණයක් නිර්මාණය වී ඇත්තේ දයා රාජපක්ෂගේ චිත්‍ර කතා ඇසුරෙනි.

දයා රාපජපක්ෂගේ සක්විති සුවය, හුළවාලි, තවලම ආදී චිත්‍ර කථා රැසක් සිනමා නිර්මාණ බවට පත් විය.

සම කාලීන ප්‍රවීණ චිත්‍ර කතා ශිල්පියෙකු වන ජනක රත්නායක සංදේශයට කියා සිටියේ ‘දයාබර දයා තරම් නිරහංකාර කලාකරුවකුගේ වියෝව අතිශය කණගාටුදායක පුවතක් බවයි.

‘ඔහුගේ චිත්‍ර පමණක් නොවෙයි රූප රාමු සහ දෙබස් ඉතාම ලස්සනයි. වෙනස්ම මගක් ගත් ශෛලියක් ඔහු සතුව තිබුනා. ඔහු නිසා චිත්‍ර කතා කලාව ජනතාව අතරට ගියා. අනෙකුත් ශිල්පීන් වෙනුවෙන් ඔහු විශාල කාර්ය භාරයක් ඉටු කළා.’ මව්බිම පුවත් පතේ ප්‍රධාන චිත්‍ර කාර්තෘ ජනක රත්නායක පවසයි.

දයා රාජපක්ෂයන්ගේ දුලාරි, හතේ වසම, බොරළු පාර, අනූපමා ආදී චිත්‍ර කථා රැසක් පසු කාලීනව ටෙලි නාට්‍යවලට නැගුණි.