ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනතාවට සීනි බෝල දෙන්න එපා -සෝභිත හිමි

වත්මන් අගමැතිවරයාගේ මාස හැටේ ‘පංච විධ ක්‍රියාවලිය’ නිකුත් වී දින කිහිපයකින් හිටපු ජනාධිපතිවරයාගෙන් ‘අනාගතයට සහතිකයක්’ ලැබුණි.

බැලූ බැල්මට දෙපාර්ශවය ම එකිනෙකා පරයමින් ජනතාවට බොහෝ සහනාධාර ලබා දීමට මහත් වෙහෙසක් දරමින් සිටින බව පෙනී යයි.

ශ්‍රී ලංකාවට නිදහස හිමි වූ දා පටන් හිස ඔසවමින් පැමිණි පොරොන්දු දේශපාලනය විසි එක් වැනි සියවසයේ ශ්‍රී ලංකාවේත් ස්ථාපිත වෙමින් පවතින බව නොරහසකි.

මේ අතරතුර මාදුළුවාවේ සෝභිත හිමියෝ ද එක්තරා පොරොන්දු පත්‍රිකාවකට අගමැතිවරයා අවනත කර ගත්හ.

මේ පිළිබඳව විමසූ අවස්ථාවේ දී උන් වහන්සේ කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුම හුදු පොරොන්දු දේශපාලනයෙන් ඔබ්බට ගිය එකක් බවයි.

‘හැමදාම කරන මේ පොරොන්දු දේශපාලනය නතර විය යුතුයි. පොරොන්දු කියන්නේ සුළු සුළු දේවල් නෙවෙයි. ලෝකෙට ණය වෙවී මේ කන්න දෙන එක නෙමෙයි. මේ රට වැටී ඇති දරිද්‍රතාවෙන් ගොඩ එන ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් ඕන. මේ වෛරී දේශපාලනයෙන් අයින් වෙමු අපි.’ මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

තමන් වහන්සේ අගමැතිවරයා අවනත කර ගත් පොරොන්දු හෙළිදරව් කරමින් කියා සිටියේ පොලිසිය, රාජ්‍ය සේවය සහ අධිකරණය දේශපාලනීකරණය වීම වළකාලීම සඳහා නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම ඉන් එක් පොරොන්දුවක් බවයි.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ද, මුළු පාර්ලිමේන්තුවම ජනතා හඳට කන් දෙන ව්‍යවස්ථාදායක සභාවක් කිරීමද ඊට ඇතුළත්. (සාකච්ඡාවේ සම්පුර්ණ හඬ පටය අමුණා ඇත.)

මැතිවරණ සමයේ දී ජනතාවට ‘සීනි බෝල පොරොන්දු’ ලබා දීම නවතා දුප්පත්කම තුරන් කිරීම සඳහා කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළක් එම ගිවිසුමෙන් ඉල්ලා ඇති බවද උන් වහන්සේ පැවසුහ.

කෙසේ නමුත් ‘අනාගතයට සහතිකයක්’ පිළිබඳව විශ්ලේෂණයක යෙදුනු ප්‍රංශ පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ කියා සිටියේ ලාංකික දේශපාලනයේ මෑත ඉතිහාසය තුළ නිකුත් වූ, විශාලතම සෘජු ආර්ථික ප්‍රතිලාභ සහිත මැතිවරණ ප්‍රකාශනය එය බවයි.

රාජ්‍ය සේවයේ මූලික වැටුප රු.25,000 දක්වා වැඩි කිරීම, වයස අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන්ට රු.50,000ක මුදලක් ලබා දීම, විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබු විට රු.10,000ක මුදලක් ලබා දීම, මහපොළ දීමනාව රු.6000 දක්වා වැඩි කිරීම යන පොරොන්දු මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වෙයි.

නමුත් එක්සත් ජාතික පක්ෂය එය දකින්නේ ‘සහනාධාර වෙන්දේසියක්’ ලෙසින්.