ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොලිසිය පහර දෙන්නේ සැකකරුගේ තරාතිරම අනුවද?

අත්අඩංගුවේ පසු වූ පාසල් සිසුවකුට පොලිසිය තුළ දී පහර දී ඇති බවට චෝදනා එල්ල වීමත් සමඟ පොලිස් වද හිංසා පිළිබඳව සමාජය යළි ප්‍රශ්න කරමින් සිටිති.

එමෙන්ම පොලිසිය සැකකරුවන්ට පහර දෙන්නේ ඔවුන්ගේ තරාතිරම අනුවද යන්නත් බොහෝ දෙනා ප්‍රශ්න කරන්නේ සිදුවීම් කිහිපයක් පිළිබඳව මතක් කරමින්.

බලවතුන්

ඝාතන සිදු කළ බවට සැක පිට දේශපාලනඥයින් සහ බලවතුන් මෑතකදී අත්අඩංගුවට ගත් අවස්ථා කිහිපයක් පවතී.

මහා පරිමාන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද කොටු වී ඇති බව නොරහසකි.

මහජන මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් බලවතුන් කිහිප දෙනෙක් පොලිසිය භාරයේ සිටියහ.

ස්ත්‍රී දූෂණ චෝදනා ලත් ප්‍රාදේශීය සභා නියෝජිතයන් පවා අත්අඩංගුවට පත් විය.

මේ කිසිවෙකුට පොලිසිය පහර දී ඇති බවට චෝදනා එල්ල නොවුණි.

පාසැල් සිසුවා

නමුත් සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට පත් වූ පාසැල් සිසුවාට පහර දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මේ පිළිබඳව සමාජය නගන ප්‍රශ්න පොලිසිය හමුවේ තැබූ අවස්ථාවේදී පොලිස් ප්‍රකාශක කියා සිටියේ තරාතිරම කුමක් වුවත් කිසිවෙකුට පහර දීමට පොලිසියට අයිතියක් නැති බවයි. හඬ පටය අමුණා ඇත.

එමෙන්ම සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය එකම නීතිය ක්‍රියාවට නංවන ආකාරය විවිධාකාර බවට ඇතැමුන්ගේ මතයයි.

එකම නීතිය

නිධන් හෑරීමකට හවුල් බවට ලැබුණු තොරතුරු මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති උපදෙස් පැතූ පොලිසිය සේයා දැරියගේ ඝාතනය ගැන ලැබුණු තොරතුරු මත පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් නොපැතීම ගැන ද ඇතැමෙක් ප්‍රශ්න කරති.

මේ පිළිබඳව පොලිස් ප්‍රකාශකවරයාගේ පැහැදිලි කිරීම වූයේ එම නිධන් හැරීමේ සිද්ධියට එම පොලිස් නිලධාරියා දුරස්ථ බව පෙනී ගිය හෙයින් නීතිපති උපදෙස් පැතූ බවයි.

කෙසේ නමුත් කිසිවෙකුට දඬුවම් දීමට පොලිසියට බලයක් නොමැති බවත් සමාජයේ කුමන තරාතිරමක හෝ පුද්ගලයෙකුට පහර දීමට පොලිස් නිලධාරීන්ට අයිතියක් නැති බවත් පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර අවධාරණය කර සිටී.

එසේ කර ඇති බවට ඔප්පු වුවහොත් එම නිලධාරීන්ට දඬුවම් විඳින්නට සිදු වන බවට ඔහු අනතුරු අඟවයි.