අයිපීඑල් තරඟ වැදීමට ලසිත් මාලිංග 'ඉල්ලීමක් කර නෑ'

  • 2016 අප්‍රේල් 20
ලසිත් මාලිංග Image copyright Getty Images
Image caption 'ප්‍රකාශ ගැන කරුණු විමසීමට බලාපොරොත්තු වෙනවා, ඒත් වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු කිසිවක් කරන්නේ නෑ'

අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරඟ වැදීම සඳහා අවසර දෙන මෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග මෙතෙක් ඉල්ලීමක් කර නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එසේ තරඟ වැදීමට අවශ්‍ය නම් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට ක්‍රිකට් බලධාරීන් කළ නිවේදනය ප්‍රකාර ඔහු සිය ආබාධිත තත්වය පිළිබඳව බදාදා විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසීය.

එම පරීක්ෂණයේ ප්‍රතිඵලය ඉදිරි සතියේ නිවේදනය කෙරෙනු ඇති බවයි, බීබීසී සංදේශය කළ විමසීමකදී ලේකම්වරයා සඳහන් කළේ.

එමෙන්ම ක්‍රිකට් බලධාරීන් විවේචනය කරමින් පසුගියදා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කළ අතර, එවැනි කරුණු විමසීම සිදු කෙරෙන්නේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව බවයි ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා පවසන්නේ.

ලසිත් මාලිංග පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ නමුත් අයිපීඑල් ශූරතාවලියට සහභාගි වීමට තරම් ඔහු යහපත් සෞඛ්‍ය තත්වයක පසු නොවන බවයි මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙතෙක් කිසිදු ක්‍රීඩකයකුට අයිපීඑල් ශූරතාවලියට සහභාගි වීමට තහනමක් පනවා නැති බවත් මොහාන් ද සිල්වා තහවුරු කළේය.