තරඟ පාවාදීමේ උත්සාහය: 'පරීක්ෂණය ක්‍රීඩකයන්ට හිරිහැරයක්'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ටෙස්ට් කඩුලු 300 ක් දවා ගත් තුන් වැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් වූ රංගන හේරත්ට නිසි පිළිගැනීමක් ලැබුනාද?

තරඟ පාවාදීමේ උත්සාහයක් පිළිබඳව ජගත් පාලක මණ්ඩලය විසින් පරීක්ෂණයක් පවත්වමින් තිබියදී පොලිසියටත් පැමිණිලි කිරීම මගින් ක්‍රිකට් ක්‍රීඩකයන් මානසික පීඩනයකට ලක් කෙරුණ බව ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම පන්දු යවන ක්‍රීඩකයා ඒ බව කියා සිටියේ ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේ පැවති තුන් වැනි ටෙස්ට් තරඟයෙන් අනතුරුව බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

තරඟය පාවාදීමේ උත්සාහය පිළිබඳව තමාත්, කුසල් ජනිත් පෙරේරා සහ නායක ඇන්ජලෝ මැතිව්ස්ද පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාශයට කැඳවා ප්‍රශ්න කරනු ලැබීම මගින් සිදු වූයේ ලෝක කුසලානයක් අභිමුව තිබියදී ක්‍රීඩකයන් අතිරේක පීඩනයකට ලක් කිරීමක් බවයි ඔහු පවසන්නේ.

"මම දකින දේ, ඒ අවස්ථාවේ මට තේරුණ දේ තමයි අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් කරලා තියෙද්දී ඇයි අපි තවත් පැමිණිල්ලක් කරන්නේ කියන එක," දඟ පන්දු යවන ක්‍රීඩකයා පැවසීය.

Image copyright GETTY/ ISHARA S.KODIKARA
Image caption 'මීට කලිනුත් මේ වගේ චෝදනා ක්‍රීඩකයන්ට තිබිල තියෙනව. හැබැයි මම දන්න විදියට මමයි, කුසල් ජනිත් පෙරේරායි තමයි FCID එකට කැඳවල ප්‍රශ්න කරපු පළ වෙනි ක්‍රීඩකයෝ දෙන්න'

"මීට කලිනුත් මේ වගේ චෝදනා ක්‍රීඩකයන්ට තිබිල තියෙනව. හැබැයි මම දන්න විදියට මමයි, කුසල් ජනිත් පෙරේරායි තමයි FCID එකට කැඳවල ප්‍රශ්න කරපු පළ වෙනි ක්‍රීඩකයෝ දෙන්න."

ක්‍රීඩකයන් එතරම් 'අපහසුතාවකයට පත් කර' පැවැත්වූ පරීක්ෂණයේ ප්‍රතිඵලය කවරක්දැයි රංගන හේරත් ප්‍රශ්න කරයි.

"අපි ඒ ගැන තවමත් බලන් ඉන්නවා, මොකද්ද ඒකට වුනේ කියන එක. අපිට තවමත් ඒකට ලැබුණු හරි පිළිතුරක් නැහැ. අපි හරි කැමතියි මේකට ඉක්මනින් හරි උත්තරයක් ලැබෙනවා නම්," රංගන හේරත් බීබීසී සංදේශයට පැවසීය.

ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම අඟහරුවාදා අයර්ලන්තය බලා පිටත්ව ගිය අතර, එක් දින පිටියෙන් සමුගෙන සිටින රංගන හේරත් යළි ශ්‍රී ලංකාව බලා යාමට නියමිතයි.

කඩුලු 300

එංගලන්ත සංචාරය අතරවාරයේ රංගන හේරත් ටෙස්ට් කඩුලු 300 ක් දවාගත් තුන් වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්විය.

"ඒක මම තනියෙන් ලබාගත්ත දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මට හැම අතින්ම උදවු කරපු අයට."

මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් ගෙන් අනතුරුව එම ජයග්‍රහණය ලබාගත් රංගනට ඒ වෙනුවෙන් නිසි පිළිගැනීමක් ලැබුනේද?

"කණ්ඩායමේ ක්‍රීඩකයෝ, මගෙත් එක්ක හිටපු සෑම දෙනාම මට ඒකට සුභ පතල තියෙනව. තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මට විශේෂයෙන් කතාකරලා සුභ පැතුවා," ඔහු පැවසීය.

ඒ හැරුණු විට ක්‍රිකට් බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් පළනොවූයේ දැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් රංගන හේරත් ප්‍රකාශ කළේ, තමන් යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු ඔවුන් බලා සිටිනවා විය හැකි බවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් නිසි පිළිගැනීමක් නොලැබීම පිළිබඳව මුවින් විවේචනයක් පළ නොකළත් ඔහු කිසියම් කණගාටුවකින් පසුවන හැඩකුයි සංදේශයට දැකගන්නට ලැබුණේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්