ක්‍රිකට්: විස්සයි විස්ස පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාදයි

  • 2017 ජනවාරි 21
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම Image copyright Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන් ක්‍රීඩාංගණයේ පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 19 ක පරාජයක් අත්විය.

වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලකට ඕවර දහය දක්වා සීමා කෙරුණු අතර, නියමිත ඕවර දහය අවසානයේ දකුණු අප්‍රිකාව කඩුලු හතක් දැවී ලකුණු 126 ක් රැස් කරගත්තේය.

එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරගැනීමට සමත්වූයේ කඩුලු හයක් දැවී ලකුණු 107 ක් පමණි.

දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලිය 3-0 කින් පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩාලෝලීන්ගේ විවේචනයට ලක් වී තිබේ.

කණ්ඩායමේ පරාජය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳ වූ හදිසි රැස්වීමකදී ස්කයිප් තාක්ෂණය ඔස්සේ අදහස් දැක්වූ නායක මැතිව්ස්, විස්සයි විස්ස සහ එක් දින තරගවලදී නව ජවයකින් යුතුව තරග වැදී එම තරග ජයග්‍රහණය කිරීම කණ්ඩායමේ අභිලාෂය බව පවසා තිබුණි.

කෙසේ නමුත් විස්සයි විස්ස තරග 46 කදී ලකුණු 18 ක සාමාන්‍යයක් පමණක් රදවාගත් දිනේෂ් චන්දිමාල් විස්සයි විස්ස කණ්ඩායමට නම්කිරීම සහ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට නම් නොකිරීම පිළිබඳව ක්‍රිකට් තේරීම් කමිටුවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවේචන එල්ලවෙමින් තිබේ.

තරගාවලිය සඳහා පිටවීමට දින දෙකක් පමණක් තිබියදී කණ්ඩායමේ ස්ථිර කළමනාකරු චරිත් සේනානායක වෙනුවට රංජිත් ප්‍රනාන්දු නම් කිරීමද මතභේදයට තුඩුදුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර