ක්‍රිකට්: ඇලස්ටෙයාර් කුක් ඉල්ලා අස්වෙයි

  • 2017 පෙබරවාරි 6
ඇලිස්ටෙයාර් කුක් Image copyright Getty Images

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයත්වයෙන් ඉල්ලා අස්වන බව ඇලස්ටෙයාර් කුක් නිවේදනය කළේය.

වාර්තාගත ටෙස්ට් තරග 59 කට නායකත්වය දුන් 32-හැවිරිදි ඇලස්ටෙයාර් කුක්, කණ්ඩායමේ නායකත්වය භාරගත්තේ 2012 දීය.

2013 දී සහ 2015 දී ඕස්ට්‍රේලියාවට එරෙහි අළු බඳුන ශූරතාවය දිනාගැනීමට ඔහු සිය කණ්ඩායම මෙහෙයවීය.

කෙසේ නමුත් පසුගිය වසරේ ඉන්දියාවේ පැවති ටෙස්ට් තරගාවලිය 4-0 කින් පරාජයවීමෙන් අනතුරුව සිය නායකත්වය පිළිබඳව 'ප්‍රශ්න මතුවී තිබෙන' බව ඔහු පිළිගත්තේය.

Image copyright BBC Sport

නායකත්වයෙන් ඉල්ලා අස්වීම "ඉතා දුෂ්කර තීරණයක්" වූ බව සඳහන් කළ ඇලස්ටෙයාර් කුක්, කෙසේ නමුත් එය මේ මොහොතේ කණ්ඩායම සහ තමන් සම්බන්ධයෙන් "ගතයුතු නිවැරදිම තීන්දුව" යයි තමන් විශ්වාස කරන බවත් කියා සිටියේය.

ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග එංගලන්ත ක්‍රිකට් බලධාරීන් ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේ ක්‍රියාදාමය ආරම්භ කර තිබෙන අතර, එංගලන්ත කණ්ඩායමේ පිතිකරු ජෝ රූට් එහිදී ඉදිරියෙන්ම සිටියි.

මේ අතර දකුණු අප්‍රිකානු සංචාරයේදී බරපතල පරාජයක් අත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙන බව ක්‍රීඩා වාර්තාකරුවෝ පවසති.