මාලිංග නායකත්වය භාරගැනීමට සුදානම්ද ?

  • 2017 පෙබරවාරි 9
Image caption නැවත විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත්කළහොත්?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබේ.

පාදයේ ආබාධයක් හේතුවෙන් ලසිත් මාලිංග වසරකට වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි අතර අද (පෙබ. 09) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ තම ආබාධය මේවන විට සම්පුර්ණයෙන් සුවවී ඇති බවය.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 17 වැනිදා ආරම්භවන අතර 15 වැනිදා පැවැත්වෙන පුහුණු තරගය තුළ දක්වන දක්ෂතා අනුව තමන් කණ්ඩායමට සුදුසු දැයි කණ්ඩායමේ නායකයා තීරණය කරනු ඇති බව ලසිත් මාලිංග පැවසුවේය.

නායකත්වයට?

ඉදිරියේ පැවැත්වෙන එක්දින තරගාවලි සඳහා සහභාගිවන්නේදැ'යි විමසු විට ලසිත් මාලිංග පැවසුවේ පළමුව විස්සයි විස්ස තරගාවලි සඳහා සහභාගිවී ඉන් පසු ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවය.

අවසන් වරට ලසිත් මාලිංග විස්සයි විස්ස තරගයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාකළේ කණ්ඩායමේ නායකයා ලෙසිනි.

නැවත විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත්කළහොත් එය භාරගැනීමට සුදානම්දැයි විමසූ විට ඔහු පැවසුවේ එවන් ඉල්ලීමක් ලැබුනහොත් එයට තමන් විවෘත බවය.

මේ අතර ඕස්ට්‍රේලියා තරගාවලිය සඳහා උපුල් තරංගගේ නායකත්වයෙන් නම්කළ කණ්ඩායමට ලසිත් මාලිංගට අමතරව මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, දසුන් ශානක, ඩිල්ශාන් මුණවීර හා විකුම් සංජය කැඳවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයක් හේතුවෙන් තරගාවලියට ක්‍රීඩා නොකරන අතර නිත්‍ය උපනායක දිනේෂ් චන්දිමල්ට ද කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.