අසේල සහ ප්‍රසන්නට හමුදාවේ උසස්වීම්

  • 2017 මාර්තු 1
සික්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න Image copyright Army.lk
Image caption බලලත් නිලධාරී - I සික්කුගේ ප්‍රසන්න සහ බලලත් නිලධාරී - II අසේල ගුණරත්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ඨ දස්කම් පෑ හමුදා නිලධාරීන් දෙදෙනකු ට උසස්වීම් ලබා දුන් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී තරගයේ ශූරයා සම්මානය දිනාගත් අසේල ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා විසින් සැරයන් තනතුරේ සිට බලලත් නිලධාරී - II තනතුරට උසස් කරන ලද බව යුද හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

විස්සයි විස්ස තරගාවලියේ අසේල ගුණරත්න ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය ක්‍රීඩාලෝලීන් මෙන්ම දෙස්, විදෙස් ක්‍රීඩා විචාරකයන්ගේ ද ප්‍රසාදයට ලක්විය.

ඊට පෙරාතුව දකුණු අප්‍රිකාව සමඟ පැවති ක්‍රිකට් තරගාවලියේ දී සුවිශේෂි දස්කම් දැක්වූ සික්කුගේ ප්‍රසන්න, බලලත් නිලධාරී - II තනතුරේ සිට බලලත් නිලධාරී - I තනතුරට උසස් කරන ලද බවත් යුද හමුදාව පවසයි.

Image copyright Army.lk