යුනිස් ඛාන්: තවත් ක්‍රිකට් දැවැන්තයෙක් පිටියෙන් සමු ගනියි

  • 2017 අප්‍රේල් 8
Younus Khan Image copyright Rex Features
Image caption ටෙස්ට් තරග 115 දී යුනිස් ඛාන් විසින් රැස් කර ගනු ලැබ ඇති මුළු ලකුණු සංඛ්‍යාව 9,977 කි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක පිතිකරු යුනිස් ඛාන් පවසයි.

ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලිය අප්‍රේල් 22 වෙනිදා ආරම්භ වීමට නියමිතය.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අනගි සේවයක් ඉටු කළ පිතිකරුවෙකු ලෙස සැලකෙන තිස් නව හැවිරිදි යුනිස් ඛාන් ටෙස්ට් වරම් හිමි කර ගත්තේ 2000 වසරේදීය.

ටෙස්ට් තරග 115 දී ඔහු විසින් රැස් කර ගනු ලැබ ඇති මුළු ලකුණු සංඛ්‍යාව 9,977 කි.

ශතක 34 කට හිමිකම් කියන ඔහුගේ ලකුණු සාමාන්‍යය 53.06 ක් වන අතර ඔහු විසින් රැස් කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 313 කි.

විස්සයි විස්ස ලෝක කුසලානය

Image copyright Marty Melville

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරග සියල්ල සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දී ඇති යුනිස් ඛාන් 2009 වසරේ එංගලන්තයේ පැවති විස්සයි විස්ස ලෝක ශූරතාව හිමි කර ගැනීම සඳහා පාකිස්තානයට නායකත්වය ලබා දුණි.



බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ වත්මන් නායක මිස්බා උල්හක් මීට දින දෙකකට ඉහතදී පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර