චැම්පියන්ස් තරඟ; ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අභියෝගයක් ?

  • 2017 ජුනි 9
Image caption ක්‍රීඩකයන් ආබාධයට ලක්වීම කණ්ඩායමට බලපෑමක් එල්ල කර ඇත.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරමින් ඊයේ (ජූනි 08) ඉන්දියාවත් සමග පැවති තරඟය අතරවාරයේ පාදයේ ආබාධයකට ලක්වූ පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඉදිරි තරඟ බොහෝ දුරට අහිමි වීමට ඉඩ ඇතිබව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙක් බීබීසියට ප්‍රකාශ කළේය.

"තත්වය එතරම් හොඳ නැහැ. අද (ජූනි 09) ඔහු MRI පරීක්ෂණයකට ලක් කරනවා. ඉන් පසුවයි ඔහු වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයකු කැඳවනවාද? නැද්ද යන්න තීරණය කළ යුත්තේ" ශ්‍රී ලංකා කණ්ඩායමේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියාව සමඟ තරඟයේ දී ලකුණු 47ක් ලබා සිටියදී පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

එම තරඟයට පෙර පැවති අවසන් පුහුණු සැසියේදී ඇතිවූ ආබාධයක් නිසා චාමර කපුගෙදරට ද කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවිය.

චැම්පියන් ලීග්ස් තරඟාවලිය අතරවාරයේ ආබාධයකට ලක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස්ද ඉන්දියාව සමඟ තරඟ වැදුණේ පිතිකරුවකු ලෙස පමණි.

යම් හෙයකින් කුසල් ජනිත් පෙරේරාට ඉදිරි තරඟය අහිමි වුවහොත් පකිස්ථානය සමග පැවැත්වෙන තරඟය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා සංචිතයේ සිටින්නේ පිතිකරුවන් හය දෙනෙකි.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟයෙන් අනතුරුව ක්‍රීඩා තහනමකට ලක් වූ උපුල් තරංගගේ එම තහනම අවසන් වන්නේ පකිස්ථානයට එරෙහි තරගයෙන් පසුවයි.

ඉන්දියාවට එරෙහි තරඟයේ දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක මුල් සංචිතයේ නොසිටියත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එංගලන්තයේ සිටි නිසා අවසන් මොහොතේ ඔහු කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට හැකි විය.

Image caption ආබාධයකට ලක්ව සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරන්නේ පිතිකරුවකු මට්ටමින් පමණි

ආදේශක ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට ගැනීම සඳහා තරඟාවලිය පැවැත්වෙන එංගන්තයේ සිටින්නේ පිට දඟ පන්දු යවන දිල්රුවන් පෙරේරා පමණක් වන අතර තවත් පිතිකරුවෙකු කණ්ඩායමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාවෙන් පිතිකරුවකු ගෙන්වා ගැනීමට සිදුවනු ඇත.

ඊයේ තරඟයෙන් අනතුරව විස්තර විචාරයේ නියැලුණු කුමාර් සංගක්කාරගෙන් ක්‍රීඩා විචාරකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී ඇති තත්වය පිළිබඳව විමසු විට "ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය නම් එංගලන්ත ප්‍රාන්ත හා ලීග් තරඟ සඳහා ක්‍රීඩා කරන එංගලන්ත තණතීරු වලට හුරු ක්‍රීඩකයකු කැඳවීමට හැකි" බව ඔහු කියා සිටියේය.

එහෙත් "දැනට හතළිස් වියට ලංවන තමන් ඒ සඳහා සුදුසු නොවන බව" කුමාර් සංගක්කාර සඳහන් කළේ සිනාවක් ද සමගයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් මේවනවිට එංගලන්ත 'ඩාර්බිෂයර්' ප්‍රාන්ත කණ්ඩායම සඳහා ක්‍රීඩා කරන අතර පිතිකරු අශාන් ප්‍රියන්ජන් එංගලන්ත ලීග් තරගාවලියක් වෙනුවෙන් ක්‍රීඩා කරයි.

තහනම නිමවීමෙන් අනතුරුව උපුල් තරංගට අවසන් පුර්ව තරඟයට ක්‍රීඩා කළ හැකි නිසා,ඉන්පෙර පකිස්ථානය සමග ලබන දොළොස් වෙනිදා පැවැත්වෙන තරඟයේ දී කුසල් පෙරේරාගේ ස්ථානයට සීකුගේ ප්‍රසන්න ඇතුළත් කළ හැකි බවටද මතයක් ඇත.

තිසර පෙරේරා අංක 7 ස්ථානයේත්, සිකුගේ ප්‍රසන්න අංක 8 ස්ථානයේත් ක්‍රීඩා කරන අතර අවශ්‍ය නම් සුරංග ලක්මාල් වෙනුවට පිතිකරනයේ ද දක්ෂතා දක්වන නුවන් කුලසේකර කණ්ඩායමට කැඳවිය හැකි බවත් පැවසෙයි.

කුසල් පෙරේරා ගැන අවසන් තීරණයක් අද (ජූනි 09) දිනය තුළ ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තුවයි.

වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව කුසල් ජනිත් පෙරේරා තරඟාවලියෙන් ඉවත් කෙරුනොත් ඒ වෙනුවට කණ්ඩායමට එක් කිරීමට පිතිඋකරු ධනංජය ද සිල්වා එංගලන්තයට යවන ලද බව මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.