දිගටම ක්‍රීඩා කරනවා - මාලිංග
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එක් දින තරගවලට සහභාගි වෙනවා - ලසිත් මාලිංග

ඉදිරි තරග සඳහා කණ්ඩායමට තෝරාගතහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින තරඟවලට සහභාගි වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ 'චැම්පියන්ස් කුසලාන' තරඟාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්වීමෙන් අනතුරුව කොළඹ දී පැවැත්වුන මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

පසුගිය බ්‍රහස්පතින්දා (ජූනි 08) වේල්සයේ 'කාඩිෆ්' නගරයේ දී පාකිස්ථානයට එරෙහිව පැවැත්වුන තරඟයේ දී උඩ පන්දු මගහැරීම සම්බන්ධයෙන් පළවෙමින් පවතින අදහස් පිළිබඳව කරුණු පැහැදිලි කළ ලසිත් මාලිංග "උඩ පන්දුවක් ගිලිහීම තරඟයක් පරාජය වීමට හේතුවක් නොවන" බවත් සඳහන් කළේය.

උඩ පන්දු ගිලිහීම සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින්නේ දැයි මාධ්‍යවේදියකු විමසූ විට ඊට පිළිතුරු දුන් ලසිත් මාලිංග "කිසි කළ කිරීමක් නැහැ. මමත් ඕන තරම් උඩපන්දු අත්හැරල තියෙනවා. උඩ පන්දුවක් ගිලිහුණා කියන එක තරගයක් පරාජයට හේතුවක් නෙවෙයි,"යනුවෙන් සඳහන් කළේය.

ඉල්ලීමක්

මේ දිනවල තම ක්‍රීඩා විලාශය පිළිබඳව පෞද්ගලිකව සතුටු නොවන බව සඳහන් කළ ඔහු තමා පසුවෙන වයස අනුව "දැන් ලොකු දේවල් කළ නොහැකි" බවත් පවසයි.

2019 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන්නේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් ලසිත් මාලිංග, ක්‍රිකට් බලධාරීන් අවස්ථාවක් ලබාදෙන්නේ නම් තමා එයට සහභාගි වෙන බව කියා සිටියේය.

ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන වාර්තා කරන විට බුද්ධිමත්ව සිතා කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉල්ලීමක් කරයි.

"බුද්ධිමත් ජනතාව දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව කොහොමද කියලා. ඒ නිසා බුද්ධිමත්ව හිතලා ක්‍රිකට් ක්‍රීඩාව ගැන ලියන්න," ලසිත් මාලිංග පවසයි.