චැම්පියන්ස් කුසලාන: අවසාන මහා තරගයේ ජය කාටද?

Image copyright Getty Images

එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් ශූරතාවලියේ අවසාන මහා තරගය මින් මඳ වේලාවකට පෙර ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය.

තරගාවලිය පුරා කණ්ඩායම් 14 ක් අතර පැවති තරග 13 කින් අනතුරුව දකුණු ආසියානු කලාපයේ ප්‍රධානම ප්‍රතිවාදීන් දෙදෙනාවන ඉන්දියාව සහ පාකිස්තානය අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබූහ.

පසුගියදා ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් තට්ටු නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිකිරීම පිණිස විනාඩියක නිශ්බ්දතාවයෙන් අනතුරුව තරගය ආරම්භ කෙරුණි.

කාසිය වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළේය.

ඕවල් තණතිල්ලේ මුලින් පන්දු යැවීම තමන්ට වාසිදායක බව පවසන ඉන්දීය කණ්ඩායමේ නායකයා, මේ තරගයේදී දක්ෂ ලෙසින් ක්‍රීඩා කිරීම සිය බලාපොරොත්තුව බව සඳහන් කළේය.

ලකුණු 300 කට වඩා රැස් කරගෙන ඉන්දියාවට එරෙහිව ප්‍රබල තරගයක් දීම සිය බලාපොරොත්තුව බව පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්රාස් අහ්මඩ් පැවසීය.

දකුණු අප්‍රිකාවට සහ පාකිස්තානයට පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මුල් වටයේදීම තරගාවලියෙන් ඉවත්ව ගිය නමුත් බංග්ලාදේශය දෙවැනි වටයට සුදුසුකම් ලැබුවේය.

මුල් වටයේ තරගයේදී පාකිස්තානය පරාජය කිරීමට ඉන්දියාව සමත් වූ නමුත් විශේෂයෙන්ම පාකිස්තාන කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම හමුවේ පාකිස්තානය මේ තරගයේදී ඉන්දියාවට එරෙහිව ප්‍රබල තරගයක යෙදෙනු ඇති බව ක්‍රීඩා විචාරකයන්ගේ මතයය.

ඕවල් ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයේ ද සැණකෙළි සිරියක් දක්නට ලැබෙන බව වාර්තාකරුවෝ පවසති.

1996 දී ජගත් කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වූ කුමාර් ධර්මසේන මේ තරගයේ අතිරේක විනිසුරුවරයාය.

Image copyright Reuters