ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට කළමනාකරුවන් අවශ්‍යද?

ශ්‍රී ලංකා කණ්ඩායම Image copyright AP
Image caption හැමදාම එකම ක්‍රීඩකයො අවුරුදු 10ක්, 15ක් ගහපුවම මේ කණ්ඩායමේ අලුත් ක්‍රීඩකයන්ට තියෙන ඉඩ කඩ, අයිතිවාසිකම් නැතිවෙලා යනවා - අමාත්‍ය දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් විශාල පිරිසක් එකම කළමනාකරුවෙකු විසින් පාලනය කරනු ලැබීම ක්‍රීඩාවේ උන්නතියට ප්‍රබල බාධකයක්ව පවතින බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළවෙමින් පවතී.

විශේෂයෙන්ම පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කිරීමට ප්‍රබල දායකත්වයක් සැපයූ ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට ඇතුළත් නොකිරීමට ප්‍රබල උත්සාහයක් පැවති බවට ද මාධ්‍ය වාර්තා පළ වී තිබිණ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දස දෙනෙකුට ආසන්න පිරිසක් එකම පුද්ගලයෙකු විසින් පාලනය කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවය.

සබැඳි යොමු:

"ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් පාලනය කරන්නේ එක මැනේජර් කෙනෙක්. මැනේජර්ස්ල එක්කෙනයි ඉන්නේ ක්‍රීඩකයන් දහ දෙනෙකුට අද වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ," ඔහු පැවසීය.

ඇමතිවරයාගේ විරෝධය

සිය විරෝධය තමන් දැනටමත් ඔවුන්ට දැනුම් දී තිබෙන බවත් අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

"මම ඒකට දැඩි විරෝධතාවයක් දැක්වුවා. මම ගිය සැරෙත් කිවුව වහාම මේක වෙනස් කරන්න කියල. මොකද හේතුව මේ අය තමන්ගේ සේවකයන් පාලනය කිරීම සම්බන්ධ විශාල වැඩපිළිවෙලක් දක්වනවා."

Image caption "ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් පාලනය කරන්නේ එක මැනේජර් කෙනෙක්. මැනේජර්ස්ල එක්කෙනයි ඉන්නේ ක්‍රීඩකයන් දහ දෙනෙකුට අද වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ"

වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම කළමනාකරු බව ජනමාධ්‍ය වාර්තා කරන පුද්ගලයෙකුට ඇමතීම සඳහා බීබීසී සිංහල සේවය කිහිපවරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

වර්තමානයේ ක්‍රීඩාව මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩ ඒම පිණිස ක්‍රීඩකයන්ගේ කළමණාකරුවන් සම්බන්ධ ගැටළු සහ පරිපාලන ගැටළු විසඳීම මෙන්ම එකම ක්‍රීඩකයන් කණ්ඩායමක් දීර්ඝ කාලයක් කණ්ඩායමේ රැඳී සිටීමේ වාතාවරණය වෙනස් කළ යුතුව තිබෙන බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.

"හැමදාම එකම ක්‍රීඩකයො අවුරුදු 10ක්, 15ක් ගහපුවම මේ කණ්ඩායමේ අලුත් ක්‍රීඩකයන්ට තියෙන ඉඩ කඩ, අයිතිවාසිකම් නැතිවෙලා යනවා. අවුරුදු 10, 12 තමන්ගේ ස්ථානය තියාගෙන ක්‍රිකට් ගහන කට්ටිය අද ලෝකේ අනිත් රටවල නැහැ. ඒ නිසා එතෙන්ට අපි ක්‍රීඩාව ගෙන යා යුතුයි. තරගයක් ඇති කළ යුතුයි. "

වර්තමානයේ ක්‍රීඩාව මුහුණ දී තිබෙන ගැටළු සම්බන්ධයෙන් කණ්ඩායමෙන් පිටත සිට ට්විටර් පණිවුඩ නිකුත් කරන "සමහර ක්‍රීඩකයන්" ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට යහපතක් නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර