නව ව්‍යවස්ථාව ගැන මහා නාහිමි මතයට ආණ්ඩුවේ ප්‍රතිචාරය

මහනුවර පැවති සඟ සමුළුව

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීමේ හෝ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාදාමය ඉදිරියටම ගෙනයන බව ආණ්ඩුව පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කිරීම සඳහා අවශ්‍ය වන්නේ නම් ජනමත විචාරණයක් කැඳවීමට ද ආණ්ඩුව සූදානම් බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ත්‍රෛනිකායික මාහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය අඟහරුවාදා කළ ඒකමතික නිවේදනය පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

සබැඳි යොමු:

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් සහ අනුනාහිමිවරුන් ඇතුළු 75 ස් නමකට අධික මහා සංඝරත්නය මහනුවරට රැස් වී රටේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ, "නැති ගැටළු ඇතිකරන අලුතින් ව්‍යවස්ථාවක් සකස් කිරීම කිසිසේත් සුදුසු නොවන බව" සඟ සමුළුවේ ඒකමතික තීරණය වූ බව සඳහන් කළහ.

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් නියෝජනය කරමින් මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

Image caption "ජනවරම ක්‍රියාත්මක කරනවා"

මහා නාහිමිවරුන් ගේ ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමින් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ, ජනතාව ලබා දී තිබෙන ජනවරම ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම බවය.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම පිණිස පිහිටුවා තිබෙන කමිටු හයේ නිර්දේශ පිළිබඳව අවසාන තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තුව විසින් බව සඳහන් කළ කැබිනට් ප්‍රකාශකවරයා, 1972 දී සිදු වූ ආකාරයට මේවනවිට සම්පූර්ණ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙසින් රැස් වී එම තීන්දුවට එළඹෙනු ඇති බවත් පැවසීය.

නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයකින් අනුමත වුවහොත්, ඉන් අනතුරුව එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ජනතාවට අවස්තාව උදාවනු ඇති බවත් අමාත්‍ය සේනාරත්න සඳහන් කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ

නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාමයට විරෝධය පළකිරීමට පෙර එහි සැබෑ අරමුණ හඳුනාගත යුතු බව පැවසූ ඔහු, නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන්නේ රටේ බහුතර සිංහල ජනතාව එයට අනුමැතිය පළකරන්නේ නම් පමණක් බව ආණ්ඩුව පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් කියා සිටියේය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද අවධාරණය කළේ නව ව්‍යවස්ථාවේ අවසාන කෙටුම්පත තවමත් කෙටුම්පත් කර අවසන් නොමැති බවය.

රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම් අවශ්‍යතාවය ජනතාව වටහාගත යුතු බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.