සිර දඬුවම වෙනුවට ලියොනෙල් මෙසීට දඩයක්

ලියෝනෙල් මෙසී Image copyright EPA

ලෝ ප්‍රකට පාපන්දු තාරුකාව, ලියෝනෙල් මෙසීට පණවා තිබුන මාස 21 ක සිර දඬුවම දඩයක් බවට පරිවර්තනය කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක් තීන්දු කළේය.

ඒ අනුව ආජන්ටිනා ජාතික කණ්ඩායමේ සහ ස්පාඤ්ඤයේ බාසෙලෝනා ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකුවන ලියොනල් මෙසීට නියම කර තිබුණ සිර දඬුවමේ එක් දිනකට යුරෝ 400 ක් වශයෙන් යුරෝ 252,000 ක දඩයක් ගෙවිය යුතු බව අධිකරණය නිවේදනය කළේය.

2007 සහ 2009 අතර කාලයේදී සිය පියා ද සමග එක්ව ස්පාඤ්ඤයට අය විය යුතුව තිබුණ යුරෝ මිලියන 4.1 ක බදු මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට මෙසී වැරදිකරු බව අධිකරණය ඊට ඉහත දී නිගමණය කළේය.

ඔහුගේ පියාට පනවා තිබුණ මාස 15 ක සිර දඬුවම ද යුරෝ 180,000 ක දඩයක් බවට පරිවර්තනය කර තිබේ.

බෙලීස් සහ උරුගුවේ රාජ්‍යවල පවතින ලිහිල් නීති යොදාගනිමින් මෙසී ගේ ඡායාරූප විකිණීමෙන් ලැබුණු මුදල් සඳහා බදු ගෙවීමෙන් වැලකීමේ චෝදනාවට ඔවුන් දෙදෙනා වැරදිකරුවෝ වූහ.

අත්හිටවූ සිර දඬුවම් හැරුණු විට මෙසීට තවත් යුරෝ මිලියන දෙකක සහ ඔහුගේ පියාට යුරෝ මිලියන 1.5 ක දඩයක් ද නියම කෙරිණ.

Image copyright AFP

නොගෙවන ලද බදු මුදල් සහ ඒ වෙනුවෙන් අයවිය යුතු පොලියද ඇතුළත්ව යුරෝ මිලියන 5 ක මුදලක් ඔවුන් දෙදෙනා 2013 දී ස්වේච්ඡාවෙන් ගෙවා තිබේ.

තමන්ට නියම කළ දඬුවමට එරෙහිව ලියොනෙල් මෙසී ඉදිරිපත්කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළ නමුත් ඔහුගේ පියා බදුවලින් කොටසක් ගෙවා තිබූ බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ සිර දඬුවම කෙටි කළේය.

ස්පාඤ්ඤයේ නීතිය අනුව වසර දෙකකට වඩා අඩු සිර දඬුවම් අථ්හිතවූ සිර දඬුවම් බවට පත් කළ හැකි බැවින් ලියෝනෙල් මෙසී බන්ධනාගාරගත කෙරෙනු ඇතැයි අපේක්ෂා නොකෙරිණ.

මෙසී ගේ ක්‍රීඩා ජීවිතයේ ජයග්‍රහණ:

  1. 2017 අප්‍රේල් මාසයේ 500 වැනි ගෝලය ලබාගැනීම
  2. ජගත් පාපන්දු සම්මේලනය ප්‍රදානය කරන ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මානය වාර්තාගත් පස් වතාවක්ම දිනාගැනීම
  3. තුන් වතාවක්ම යුරෝපයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගැනීම
  4. බාසේලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිව් වතාවක්ම චැම්පියන්ස් ශූරතාවය දිනාගැනීම
  5. බාසේලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් අට වතාවක් ස්පාඤ්ඤ පාපන්දු ශූරතාවය දිනාගැනීම
  6. 2008 දී ආජන්ටිනාව වෙනුවෙන් තරග වදිමින් ඔලිම්පික් රන් පදකකම දිනාගැනීම
  7. ගෝල 55 ක් රැස් කරමින් ආජන්ටිනාව වෙනුවෙන් එතෙක් මෙතෙක් වැඩිම ගෝල් රැස් කළ ක්‍රීඩකයා වීම

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර