ක්‍රිකට්: ශ්‍රී ලංකාව එක් දින තරගාවලිය පරාදයි

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරගයේ අවස්ථාවක් Image copyright Getty Images

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති පස් වෙනි එක් දින සීමිත ඕවර තරගයේ ද ජයග්‍රහණය අත්කරගනිමින් එක් දින ශූරතාවලිය ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාව තුළදී එක් දින ශූරතාවලියක් ජයග්‍රහණය කළ පළමු වතාව මෙයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට ඉහත දී පැවති එක් දින තරග දෙකක් ජයග්‍රහණය කළ නමුත්, සූරියවැව ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි තරගයේදී ආරම්භක පිතිකරු යුවල, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ලෝක වාර්තාවක් පවා පිහිටුවා තිබියදී එම තරගය ද ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය.

සබැඳි යොමු:

Image copyright Sri lanka cricket

අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ එක් දින ශ්‍රේණිගත කිරීම් අනුව අට වෙනි ස්ථානය දරන ශ්‍රී ලංකාව, රටවල් දොළහක් අතරින් එකොලොස් වෙනි ස්ථානය දරන සිම්බාබ්වේ කණ්ඩායමට මේ ආකාරයෙන් පරාජය වීම පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ සහ ක්‍රීඩා විචාරකයන්ගේ ප්‍රබල අවධානය පළවෙමින් පවතී.

කණ්ඩායමේ ක්‍රීඩකයන් විශාල පිරිසක් එක් කළමණාකරුවෙකු විසින් මෙහෙයවනු ලැබීම අවධානයට බඳුන් වී තිබෙන එක් ප්‍රධාන කරුණක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය සතියේ බීබීසී සිංහල සේවයට පැවසීය.

ශ්‍රී ලංකාවට ලෝක ශූරතාවය දිනා දුන් කණ්ඩායමේ නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව "විනාශ වෙමින් යාම" පිළිබඳ වගකීම සිය ආණ්ඩුව භාරගත යුතු බවය.

සබැඳි යොමු:

ඒ අතරම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සහ ක්‍රීඩක ලසිත් මාලිංග එයට ප්‍රතිචාරය පළ කිරීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ සාකච්ඡාවට බඳුන් විය.

මීට ඉහත දී තරග කිහිපයක් බංග්ලාදේශයට ද පරාජයවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ කඩා වැටීම පිළිබඳව සංවාදයක් මතුවිය.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ හිටපු සභාපති සිදත් වෙත්තමුණි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව සිදත් වෙත්තමුණි මෙන්ම හිටපු නායක මහේල ජයවර්ධන වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද පෙන්වා දී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර