අතුරුදහන්වූවෝ: කාර්යාලය පිහිටුවීමේ පනත නීතිගතයි

අතුරුදහන්වූවන් පිළිබඳ ස්මාරකයක්

පාර්ලිමේන්තුව විසින් පසුගිය වසරේ සම්මත කරන ලද අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීමේ පනතට අත්සන් තැබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එය ශ්‍රී ලංකාවේ තිරසාර සාමයක් උදාකිරීම සඳහා වූ චාරිකාවේ තවත් ඉදිරි පියවරක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරයි.

අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය (OMP) පිහිටුවීම සම්බන්ධ පනත පාර්ලිමේන්තුව විසින් පසුගිය වසරේ අගෝස්තු මාසයේ සම්මත කරන ලද නමුත් ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනය සම්මත කෙරුනේ මේ වසරේ ජුනි මාසයේදීය.

අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනතට ජනාධිපතිවරයා අත්සන් තැබීම පිළිබඳව මේ වනවිටත් දෙස්, විදෙස් ප්‍රතිචාර පළවෙමින් පවතී.

එය ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් තැබූ ඉතා වැදගත් ඉදිරි පියවරක් බව ශ්‍රී ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය උනා මැකෝලි (Una McCauley) පවසයි.

ප්‍රතිචාර

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියගේ ට්විටර් පණිවුඩයට ප්‍රතිචාරය පළ කරන මානව හිමිකම් ක්‍රියාකාරිනී භවනි ෆොන්සේකා පවසන්නේ, පනතට අත්සන් තැබීම පිණිස වසරක පමණ කාලයක් ගත වූ ආකාරයටම කාර්යාලය පිහිටුවීම ඇතුළු යාන්ත්‍රනය ක්‍රියාවට නැගීමේ අනෙක් කටයුතු ද ප්‍රමාද නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය.

ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා එයට අත්සන් තැබීම යහපත් පියවරක් බව අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු මේ අතර බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

අතුරුදහන් වූවන්ගේ පවුල්වලට යුක්තිය ඉටුකිරීම පිණිස මෙතෙක් සිදු කළ එකම කටයුත්ත කොමිෂන් සභා පිහිටුවීම පමණක් බව පවසන බ්‍රිටෝ ප්‍රනාන්දු, එබැවින් ඔවුන්ට සිදු වූයේ කුමක්දැයි යන්න පිළිබඳව සත්‍යය සෙවීම සඳහා පමණක් හෝ කාර්යාලයක් පිහිටුවීම අගය කළ යුතු බවත් කියා සිටියේය.

යෝජිත ආයතනය ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතියට ඇතුලත් නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ඊට ඉහතදී සඳහන් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, එය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා 'දඩයම් කිරීමේ ක්‍රියාදාමයක' කොටසක් ලෙසින් විග්‍රහ කර තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර