ගාල්ලේ ක්‍රීඩාංගණය වටා යකඩ වැට "ආරක්ෂාව සඳහා"

ගාල්ලේ ක්‍රීඩාංගණය වටා යකඩ වැට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 600 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව කඩුලු පහක් දැවී ලකුණු 154 ක් රැස් කරගෙන අසීරු අඩියකට මුහුණ දෙමින් සිටියේය.

සිය ඉනිමේදී ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකුම ශතක රැස්කිරීම කැපී පෙනුනි.

මේ අතර පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගය පිළිබඳව පමණක් නොව ක්‍රීඩා බලධාරීන් ගෙන තිබෙන විශේෂ පියවරක් පිළිබඳව ද ක්‍රීඩාලෝලීන්ගේ විශේෂ අවධානය පළ වී තිබේ.

සබැඳි යොමු:

ඒ යකඩ තහඩු සහ වෙළඳ නාම සහිත ආවරණවලින් ක්‍රිඩාංගණය සම්පුර්ණයෙන්ම ආවරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීමය.

2012 න් අනතුරුව ගාල්ල ක්‍රීඩාංගණය ආවරණය කරන ලද පළමු වතාව මෙයයි.

එම පියවර හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් පිටත සිට මෙතෙක් ක්‍රිකට් තරග නැරඹුවන්ට එම අවස්ථාව අහිමි වී තිබෙන බව බොහෝ ක්‍රීඩාලෝලීහු පවසති.

'සැණකෙළියක් වගේ'

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ එක් පුද්ගලයෙක්: "මේක මහත්වරුන්ගේ ක්‍රිඩාවේ නොකළ යුතු තුන්වැනි පන්තියේ වැඩක්," යනුවෙන් එය විග්‍රහ කළේය.

"සාම්ප්‍රදායිකව ගාල්ලේ ක්‍රිකට් තරඟයක් පැවැත්වෙනවා කියන්නේ ගාල්ලට සැණකෙළියක් වගේ. ඒත් කණගාටුයි අද ක්‍රිකට් තරඟයක් තියනවද කියලවත් දැනෙන්නේ නෑ."

එහෙත් ක්‍රිඩාංගණය අසල දී හමු වූ තවත් පුද්ගලයෙක් ඒ පියවර අනුමත කළේය.

"මේක ඉතාම කාලෝචිත වැඩක්. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ඉතා වැදගත්. විදේශීය වගේම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඕන. ක්‍රිකට් තරඟය බලන්න ඕනේ නම් ක්‍රිඩාංගණයට ගිහිල්ල නැත්නම් කොටු පවුරේ ඉඳල බලන්න පුළුවන්," ඔහු පැවසීය.

ක්‍රීඩාංගණය වටා ආවරණය කිරිම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමණාකරු අරුණ ද සිල්වා සඳහන් කළේ: "ක්‍රීඩාංගණය ආවරණය කිරිමේ පළමුවන හේතුව ආරක්ෂාව. පසුගිය සිම්බාබ්වේ තරගවලදි විවිධ පුද්ගලයින් වැටවල් තුලින් පොස්ටර් ඇතුළු විවිධ භාණ්ඩ ඇතුළට ගේන්න උත්සාහ කළා," යනුවෙනි.

"ක්‍රීඩකයන්ට හානි වන අයුරින් පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කිරිම මඟින් ක්‍රිඩකයින්ගේ මානසිකත්වයට බලපැමක් එල්ලවන නිසා එය වලක්වා කටයුතු කර ආරක්ෂාව තහවුරු කරනු ලැබුවා. ඊළඟට තරග පැවැත්වෙන අවස්ථාවලදි බස්, ලොරි ඇතුළු රථ වාහන ක්‍රිඩාංගණය වටා ගමන් කිරීම නිසා ක්‍රීඩකයන්ට යම් අවස්ථාවලදි බාධා සිදුවෙනවා. ඒ වගේම මෙම තරග ලෝකය පුරා විකාශනය කරනවා. එම නිසා ක්‍රීඩාංගණයේ අලංකාරය වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කරනවා," යනුවෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමණාකරු අරුණ ද සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය.

සාමාන්‍යයෙන් ක්‍රීඩාංගණය වටා නවතා තැබූ බස් රථ සියල්ලම දැන් ගාල්ල සමනල ක්‍රිඩාංගණයේ නවතා තිබේ.

වැට ඉදිකිරීම හේතුවෙන් ක්‍රිඩාංගණය වටා පාළු ස්වභාවයක් ඉසිලීය.

සියලු කරුණු සලකා බලා "ඉතා අලංකාර ලෙස ආවරණ කටයුතු කරනු ලැබූ" බව ද ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමණාකරු සඳහන් කළේය.

"ගාලු කොටුව ලෝක උරුමයක් නිසා ස්ථිර ලෙස ක්‍රීඩා පිටිය ආවරණය කරන්න බැහැ. ඒ නිසා ඉදිරියේ තරග පැවත්වෙන දිනවල තාවකාලිකව මීටත් වඩා අලංකාර ලෙස සකස් කිරිමට පියවර ගන්නවා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.