ශ්‍රී ලංකාවේ 141 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා: මලින්ද පුෂ්පකුමාර

  • 2017 අගෝස්තු 3
මලින්ද පුෂ්පකුමාර
Image caption 30 හැවිරිදි මලින්ද පුෂ්පකුමාර ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරගවල දක්ෂතා දැක්වූ සාර්ථක වමත් දඟ පන්දු යවන්නෙකි

ශ්‍රී ලංකාවේ 141 වෙනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මලින්ද පුෂ්පකුමාරට ටෙස්ට් වරම් හිමි විය.

ඔහු ටෙස්ට් වරම් දිනා ගනු ලැබුවේ අද (අගෝස්තු 03) කොළඹ එස්.එස්.සි. පිටියේ ආරම්භ වූ ශ්‍රී ලංකා ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේදීය.

30 හැවිරිදි මලින්ද පුෂ්පකුමාර ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් තරගවල දක්ෂතා දැක්වූ සාර්ථක වමත් දඟ පන්දු යවන්නෙකුවන අතර ඔහු දේශීය පළමු පෙළ තරග 99 ට ක්‍රීඩා කර කඩුලු 558 ක් දවා ගෙන ඇත.

එක් කඩුල්ලකට ලකුණු 19 ක සාමාන්‍ය රඳවා ගැනීමට ඔහු සමත්ව තිබේ.

මේ වසර මුල ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත A කණ්ඩායමේ කඩුලු 13 ක් බිඳ හෙලා ශ්‍රී ලංකා කණ්ඩායම නොනිල ටෙස්ට් තරග ජයග්‍රහණයකට කැන්දාගෙන යාමට මලින්ද පුෂ්පකුමාරට හැකි විය.

ලෝකයේ වැඩිම කඩුලු ලබාගත් සාර්ථකම වමත් දඟ පන්දු යවන්නාවන රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ බැවින් මින් පෙර මලින්ද පුෂ්පකුමාරට කණ්ඩායමේ අවස්ථාවක් ලබා දීමට තේරීම් කමිටුවට නොහැකි විය.

තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පසුගිය මාසයේ ඒ පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දක්ෂතා අතර සිටින මලින්ද පුෂ්පකුමාරට අවස්ථාවක් ලබාදීම කෙරෙහි සිය අවධානය යොමුව ඇති බවය.

"හොඳ අවස්ථාවක්"

බංගලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය සඳහා ද මලින්ද පුෂ්පකුමාර ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබුණු නමුත් ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවිණි.

කෙසේ වෙතත් අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දු යවන්නන් තිදෙනකු යොදවා ඇති අතර තුන් වෙනි දඟ පන්දුයවන්නා ලෙස මලින්ද පුෂ්පකුමාරට අවස්ථාව ලබා දී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බදාදා කියා සිටියේ රංගන හේරත් වැනි විශිෂ්ට පන්දු යවන්නෙකු සමග ක්‍රීඩා කිරීම මලින්ද පුෂ්පකුමාරට හොඳ අවස්ථාවක් වනු ඇති බවය.

මේ අතර ඉන්දීය විචාරකයන් පවසන්නේ රංගන හේරත් මෙන්ම පන්දු යවන තවත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට ඇතුළත් කරනවා වෙනුවට පාදඟ පන්දු යවන ලක්ෂාන් සඳකැන් ශ්‍රී ලංකා කණ්ඩායමට යෙදවීමට තිබූ බවය.

සාමාන්‍යයෙන් වමතින් දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු එකට ක්‍රීඩා කිරීම එතරම් ප්‍රයෝජනවත් නොවන බව විස්තර විචාරකයන්ගේ අදහස විය.

39 හැවිරිදි රංගන හේරත් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගතහොත් ඔහුගේ ස්ථානයට හොඳම ආදේෂ්කයා ලෙස ක්‍රිකට් විචාරකයන් මලින්ද පුෂ්පකුමාර හඳුන්වනු ලබයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර