උසේන් බෝල්ට් පරාජය වුණේ කාටද?

  • 2017 අගෝස්තු 6
Image caption උසේන් බෝල්ට් - ධාවන පථයේ විදුලි වේගයේ සංකේතය

මීටර් සීය සහ දේශීය කෙටි ධාවන පථයේ ශූරයාව සිටි උසේන් බෝල්ට් පරාජයට පත් කරමින් ජස්ටින් ගැට්ලින්(Justin Gatlin) ලද ජයග්‍රහණය "අංග සම්පූර්ණ කතාවක් නොවන" බව ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ සාමිවරයා (Lord Coe) පවසයි.

ඊයේ (අගෝස්තු 05) රාත්‍රියේ ලන්ඩනයේ පැවැත්වුන මීටර් සීය ධාවන තරඟයෙන් බෝල්ට් පරාජය වීම සමස්ත ක්‍රීඩා ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇත.

රන් පදක්කම් අටක් දිනා ගනිමින් "ලෝකයේ වේගවත්ම මිනිසා" ලෙස විරුදාවලි ලැබ සිටි බෝල්ට් සෙනසුරාදා රාත්‍රියේ මීටර් සීය ධාවන පථය නිම කිරීමට තත්පර 9.95ක් ගත් අතර ඔහුට හිමි වුණේ තුන්වෙනි ස්ථානයයි.

පළමු තැන හිමිකර ගත් ජස්ටින් ගැට්ලින් තත්පර 9.92 කදීත් දෙවන තැනට පැමිණි ක්‍රිස්තියන් කෝල්මන් තත්පර 9.94 කදීත් ධාවන පථයේ අවසන් රේඛාවේ පාද තබා තිබුණි.

මෙම තරඟාවලිය නිමාවේ තමා ක්‍රීඩාවෙන් සමුගන්නා බව බෝල්ට් කල්තබාම ප්‍රකාශ කර තිබුණි.

Image caption ජස්ටින් ගැට්ලින්- අභියෝගයක් ජය ගනිමින්

බෝල්ට් පරාජයට පත් කළ 35 හැවිරිදි ඇමෙරිකානු ක්‍රීඩක ජස්ටින් ගැට්ලින් තහනම් උත්තේජක පාවිච්චිය නිසා දෙවතාවක්ම ධාන පථය තහනමට ලක්වූ තැනැත්තෙකි.

"දෙවතාවක් ක්‍රීඩා පිටිය තහනම් කරනු ලැබුණ පුද්ගලයෙක් මේවගේ දිදුළන තෑග්ගක් අරගෙන යාම පිළිබඳව විරුදාවලි ගයන කෙනෙක් නොවෙයි මම" සෙබස්තියන් කෝ සාමිවරයා කියා සිටියි.

"ඒත් ජස්ටින්ට මෙතෙන්ට එන්න අයිතිය ලැබී තිබුණා" සාමිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තවමත් තිස් හැවිරිදි වියේ පසුවෙන උසේන් බෝල්ට් මෙම ලංඩන් 'චැම්පියන්ස්' තරඟාවලිය ජය ගනිමින් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ඇත යන්න ක්‍රීඩා ලෝකයේ පැතිර යමින් තිබුණ අදහස විය.

එහෙත් ජස්ටින් ගැට්ලින් සහ තවත් ඇමෙරිකානු ධාවන ශූරයකු වන ක්‍රිස්තියන් කෝල්මන් (Christian Coleman) බෝල්ට් පසුකර යමින් පිළිවෙලින් පළමු සහ දෙවැනි තැන් හිමිකර ගත්හ.

ධාවන තරඟ කීපයකදී බෝල්ට් වෙත් අභියෝග කරමින් දිගින් දිගටම පරාජය ලබමින් සිටි ජස්ටින් ගැට්ලින් සෙනසුරාදා රාත්‍රියේ සිය අපේක්ෂාව මුදුන්පත් කර ගත් නමුත් බෝල්ට්ගේ විශ්මිත පරාජයෙන් බලාපොරොත්තු සුංව සිටි ක්‍රීඩාගාරයෙන් ඔහුට ලොකු ශුභ පැතීමක් නොලැබුණි.

ක්‍රීඩාව ආරම්භ වීමට පෙර පටන්ම ක්‍රීඩාගාරය ගිගුම් දෙමින් තිබුණේ උසේන් බෝල්ට් දිරි ගන්වන හැඳිනි.

"උසේන් බෝල්ට්! උසේන් බෝල්ට්! උසේන් බෝල්ට්!........"

මීටර් සීය ධාවන පථයේ කිරුළ 'උදුරා ගත්' ජස්ටින් ගැට්ලින් වෙනුවෙන් ක්‍රීඩාගාරයෙන් පිරිනැමුණේ 'හූ' හඬයි.

එහත් උසේන් බෝල්ට් තම කිරුළ පැහැර ගත් සිය ප්‍රතිවාදියා කර ගොස් ඔහු වැලඳ ගනිමින් ශුභ පැතුවේය.

Image caption තරඟකරුවන් දෙදෙනා - පෙර තරඟයක් නිමාවේ

ජස්ටින් ගැට්ලින් ක්‍රීඩාවේ ආචාර ධර්ම අතින් මතභේදයට ලක්වෙන චරිතයකි.

ඔහු තහනම් උත්තේජක පාවිච්චිය නිසා පළමු ක්‍රීඩා තහනමට ලක් කෙරුණේ 2001 වසරේදීය.

එම තහංචිය වසර දෙකකට බල පැවැත්වුනි.

2006 වසරේ තහනම් උත්තේජක පාවිච්චියේ වරදට යලිත් වැරදිකරු කෙරුණ ජස්ටින්

එම වාරයේ යාවජීව තහනමකින් බේරී අට අවුරුද්දක ක්‍රීඩා තහනමකට යටත් කරනු ලැබුණි.

Image caption දෙදෙනාගෙන් කව්ද දිනන්නේ?