"පල්ලෙකැලේ හැසිරීම ශ්‍රී ලංකාවට අපකීර්තියක්"

  • 2017 අගෝස්තු 28
Image copyright Srilanka cricket
Image caption ඉන්දියාවෙන් ලද පරාජයක් මොහොතේ කම්පාවට පත් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක් දින තරඟාවලිය පරාජයට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ගේ හැසිරීම කණගාටුදායක බව ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයන් මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මගින්ද ප්‍රකාශ කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය දරා ගැනීමට නොහැකිව කෝපයට පත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් කණ්ඩායමක හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉරිදා පැවති තුන්වැනි එක් දින තරගය විනාඩි තිස් පහක කාලයක් නතර කිරීමට සිදු විය.

ඉන්දියානු කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ළකුණු අටක් පමණක් අවශ්‍ය මොහොතක ක්‍රීඩාලෝලීහු වතුර බෝතල් ආදියෙන් ක්‍රීඩාංගනයට පහර දීමත් සමඟ තරඟය නතර කෙරුණි.

තරගය යළි ආරම්භ කළේ කැරළි මර්දන පොලිස් ඒකකය ක්‍රීඩාංගණය තුළ අසංවර ආකාරයට හැසිරුණ ක්‍රීඩාලෝලීන් ඉවත් කරනු ලැබීමෙන් අනතුරුවයි..

එහෙත් තත්වය සමනය කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ඉක්මනින් මැදිහත් නොවුණ බව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා විචාරක හර්ෂා බෝග්ලේ 'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

හර්ෂා බෝග්ලේ, හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සුනිල් ගවස්කාර් සමග විස්තර විචාරයේ යෙදෙමින් අසංවර ලෙස හැසිරුණු ක්‍රීඩා ලෝලීන් 'අමන පිරිසක්"'ලෙස හඳුන්වා දී තිබුණි.

අතලොස්සක් ක්‍රීඩාලෝලීන්ගේ අසංවර හැසිරීම හේතුවෙන් සමස්ත ක්‍රීඩාලෝලීන්ට වැරදි නාමයක් ඇති කෙරෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

ඉරිදා (අගෝස්තු 27) පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ලද පරාජය පිළිබඳව බීබීසියට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් 'පරාජයේ වේදනාව ගැන මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේ හැසිරීම පිළිබඳව' කනගාටුව පළ කළේය.

"ගොඩක් හිතට දුකයි. අපේම ක්‍රීඩා ලෝලීන්ගේ හැසිරීම ගැන. පිටියට බෝතල් වලින් පහර දෙන්න පටන් ගත්තම අපි ක්‍රීඩාංගණය මැදට ආව. අලුත් ළාබාල ක්‍රීඩකයන් ඊයේ සිද්ධියෙන් හොඳට මානසිකව ඇද වැටිලා ඉන්නේ" එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා පවසයි.

"අපි ගොඩක් මහන්සි වෙනවා කොහොමහරි ජයග්‍රාහී මගට එන්න, නමුත් ඉන්දියාව හොඳට ක්‍රීඩා කරනවා, මේ අමාරු මොහොතේ අපට අපේ ක්‍රීඩාලෝලීන්ගේ සහයෝගය අවශ්‍යයි" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Image copyright Getty Images
Image caption අසංවර ක්‍රීඩාලෝලීන් පාලනයට ආරක්ෂක අංශ

මෙය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟාවලියක් පරාජය වූ පළමු අවස්ථාව නොවන බව පවසන ක්‍රීඩා විචාරකයෝ කුමාර් සංගක්කාර , මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂාන් වැනි දැවැන්තයන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරේ ඉන්දියාවට 5-0 ක් ලෙස පරාජය වූ බවත් පෙන්වා දෙති.

කෙසේ වුවද, පල්ලෙකැලේ සිද්ධියෙන් අත් වූ අපහසුතාව ගැන සියළු දෙනාගෙන් සමාව ඉල්ලන බව ක්‍රිකට් විචාරක රසල් ආර්නල්ඩ් ශ්‍රී ලංකාව වෙනුවෙන් 'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

තමා කිසි දිනක ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ එවන් හැසිරීමක් දැක නැති බව රසල් ආර්නල්ඩ් සඳහන් කරයි.

පල්ලකැලේ ක්‍රීඩාලෝලීන්ගේ හැසිරීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපකීර්තියට පත් කිරීම ගැන සමාජ මාධ්‍යවලත් දැඩි විවේචනයට ලක් කොට ඇත.

ක්‍රීඩාලෝලීන්ගේ මෙම හැසිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගකිවයුතු බවටත් අදහස් පළ වෙමින් පවතී.

ක්‍රීඩාලෝලීන් එවැනි තත්වයකට පත් කළේ ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව නිසි ලෙස පරිපාලනය නොකළ නිසා බවට ඔවුහු චෝදනා කරති.

මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඇමතිවරයා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත විශේෂ ලිපියක් අද දිනයේ (අගෝස්තු 28) යොමු කරන බවත්, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පවත්වන බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර