ලෝක කුසලානයේ ආරක්ෂක වාර්තාව 'අයිසීසීය ප්‍රතික්ෂේප කළේ නෑ'

ICC T20 World Cup in Sri Lanka
Image caption ලිපිගොනුව අතුරුදහන් වීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ෂේන් දුල්ලෑව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කොට තිබේ

ලබන සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂක කටයුතු සම්බන්ධ විශේෂඥ වාර්තාව අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කොට නැති බව එම වාර්තාව සකස් කළ නිලධාරියා පවසයි.

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රධානියා වශයෙන් ෂේන් දුල්ලෑව විසින් සකස් කරන ලද ලිපිගොනුව ජාත්‍යන්තර පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඔහු පදවියෙන් ඉවත් කිරීමට හේතුව බව, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුව අමතමින් පවසා තිබිණ.

අමාත්‍යවරයාට එම තොරතුරු ලැබුනේ කෙසේදැයි තමන් නොදන්නා නමුත්, අයිසීසීය තම සේවාදායකයාට එවැනි කිසිවක් දන්වා නැති බවයි, ෂේන් දුල්ලෑව ගේ නීතිවේදී චන්දිමාල් මෙන්ඩිස් බීබීසී සංදේශයට කියාසිටියේ.

ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රධානියා වශයෙන් සකස් කරන ලද ලිපිගොනුවක් ඔහු විදේශ සංචාරයක යෙදී සිටියදී අතුරුදහන් වී ඇති බව පසුගිය ජුනි පස්වැනිදා දුල්ලෑව විසින් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවකින් අනාවරණය වේ.

එම අතුරුදහන් වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමා එම පදවියෙන් පහකරන ලද බව ද පැමිණිල්ලේ සඳහන් වේ.

'ආරක්ෂාවට තර්ජනයක්'

තම කාර්යාලයේ තිබූ ලිපිගොනුව අතුරුදහන් වීමට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සම්බන්ධයක් තිබිය යුතු බවට චෝදනා කරන එම පැමිණිල්ල, එය අතුරුදහන් වීම මගින් ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් ද මතුව තිබෙන බව පවසයි.

තත්ත්වය පිළිබඳව බීබීසී සංදේශය ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විමසූ අවස්ථාවේ අයිසීසීයේ මාධ්‍ය ප්‍රකාශක කොලින් ගිබ්සන් පැවසුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය දැනටමත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කොට තිබෙන බැවින් අයිසීසීයට ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිවක් ප්‍රකාශ කිරීමට නැති බවයි.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මේ දක්වාම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් අධිකරණයට ඉදිරිපත් කොට නැති බව, පැමිණිලිකරුගේ නීතිවේදී චන්දිමාල් මෙන්ඩිස් බීබීසී සංදේශයට පැවසීය.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ලෝක කුසලාන ලේකම් කාර්යාලය අවධාරණය කොට තිබුනේ, සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් මතුවී නැති බවයි.

මේ පිළිබඳව විමසීම පිණිස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර