නායකත්වයට මම සුදුසුයි - නිලූක කරුණාරත්න

Niluka Karunarathne Image copyright Daily News
Image caption නිලූක කරුණාරත්න ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායකයා ලෙස පත්කරන බව පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කෙරින

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වයට වඩාත්ම සුදුස්සා තමන් බවට මැරතන් ධාවක අනුරාධ කුරේ ඉදිරිපත් කරන තර්කය කණ්ඩායමේ නායක නිලූක කරුණාරත්න ප්‍රතික්ෂේප කරයි.

මීට කලින්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙලකට තරග වැදී, දකුණු ආසියානු රන් පදක්කමක්ද දිනා සිටින තමා, ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වයට වඩාත්ම සුදුස්සා බව අනුරාධ කුරේ පසුගිය සිකුරාදා බීබීසී සංදේශයට පැවසීය.

එහෙත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශූරයා එම තර්කය ප්‍රතික්ෂේප කරයි.

"මම දන්නේ නෑ ඔහු මොනවගෙන්ද සුදුසුකම ලබන්නේ කියල. මම හිතන්නේ දක්ෂතාවය අතින් ඔහුට වඩා ඉදිරියෙන් මම ඉන්නවා," නිලූක කරුණාරත්න බීබීසී සංදේශයට කියා සිටියේය.

කණ්ඩායමේ නායකත්වය තමන්ට කරන ලද ගෞරවයක් සේ සලකන බව පවසන ඔහු ඒ තීරණය ගත් සියලු දෙනාට "නිහතමානීව ස්තුතිවන්ත වන" බව ද පැවසීය.

අනුරාධ කුරේ ඉදිරිපත් කරන තර්කය නිසා ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සමගියට කිසිදු බාධාවක් වී නැති බව පවසන කණ්ඩායමේ නායකයා තමන් දෙදෙනා ඉදිරියටත් මිතුරන් බවද අවධාරණය කරයි.

මේ අතර එංගලන්තයේදී පුහුණුව ලබමින් සිටින මැරතන් ධාවකයාට පහසුකම් ලබාදෙන බවට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා විසින් ලබාදී ඇති පොරොන්දු මෙතෙක් ඉටුවී නැති බව පෙන්වාදුන් විට කණ්ඩායමේ නායකයා කියා සිටියේ, ඒ පිළිබඳව ඔහු යලිත් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමය සමග සාකච්චා කළ යුතු බවයි.

එහෙත් සතියකට පැය තිස් අටක පූර්ණ කාලීන රැකියාවක යෙදෙමින් පුහුණුවීම් කරගෙන යාමේ අසීරුතාවය පිළිබඳව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට දැනුම්දුන් අවස්ථාවේ තමන්ට උපකාර කරන බවට අමාත්‍යවරයා පොරොන්දු වූ වගයි, අනුරාධ කුරේ බීබීසීයට කියා සිටියේ.

මේ පිළිබඳව අමාත්‍ය අලුත්ගමගේ ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක වූයේ නැහැ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර