නායකයා වෙනස් කළේ 'යහපත් චේතනාවෙන්'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 2 අඟහරුවාදා - 12:41 GMT

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී එංගලන්තයට එරෙහිව සඳුදා පැවැත්වුණු විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුමාර් සංගක්කාර නම් කළේ සද් චේතනාවෙන් බව නායක මහේල ජයවර්ධන පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නම්කරමින් මාධ්‍යවේදීන්ට ලබාදෙන නිල සටහනේ කුමාර් සංගක්කාර තරඟයේ නායකයා ලෙස සටහන් කොට තිබූ අතර, එංගලන්ත නායක ස්ටුවර්ට් බ්‍රෝඩ් සමඟ කාසියේ වාසිය උරගා බැලීම සඳහා පිටියට පැමිණියේත් ඔහුයි.

මහේල ජයවර්ධන පිට පිටම තරඟ කිහිපයදීම කාසියේ වාසිය දිනා ගැනීමට අපොහොසත්වීම නිසා තමන්ට නායකත්වය පැවරුණු බවයි, සංගක්කාර ඒ අවස්ථාවේ කියා සිටියේ.

කෙසේ නමුත්, තරඟයේ සැබෑ නායකයා කවුරුන්ද යන්න පිටිය මැද දී මහේල ජයවර්ධන හැසිරුණු ආකාරයෙන් ක්‍රීඩාලෝලීන්ට මෙන්ම විනිසුරුවන්ට ද රහසක් නොවීය.

තරඟය අවසානයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ යථාර්ථය හෙලිකළ නායක ජයවර්ධන, කණ්ඩායමට ලබාදී තිබූ කාල වෙලාව තුල පන්දු වාර විස්ස යැවීමට අපොහොසත්වීම නිසා තමන්ට දැනටමත් දඩයක් නියම වී තිබීම එම තීරණයට හේතුව බව පැහැදිලි කළේය.

සඳුදා තරඟයේදීත් යලිත් එවැනි තත්වයකට මුහුණ දුන්නේ නම්, තමන්ට තරඟ තහනමක් පැනවීමට ඉඩ තිබුණු බවත්, අවසාන පූර්ව වටය වැනි තීරණාත්මක තරඟයකදී තරඟ තහනමක් පැනවීමේ අවදානම සලකා බලා නිල නායකයා ලෙසින් සංගක්කාර පත්කිරීමට කණ්ඩායම තීරණය කළ බවත් ඔහු පැවසීය.
උප නායක ඇන්ජලෝ මැතිවුස්ට ද එවැනිම දඩයක් නියමවී තිබීම ඔහු නායකයා ලෙස නම් නොකිරීමට හේතුව බවයි, ඔහු කියා සිටියේ.

මහේල ජයවර්ධන

"හුඟක් වෙලාවට මේ නීතියත් දැන් වෙනස් වේවි සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමයි. කොහොම වුනත් ලෝක ශූරතාවලිය ඉවර වෙන්න කලින් එහෙම වෙනස් වෙන එකක් නැහැ කියල මම හිතනවා. සමහර වෙලාවට මට දැන් අයිසීසී එකෙන් කෝල් එකක් ඒවි කරුණු විමසලා"

කෙසේ නමුත් තමන් ක්‍රීඩාවේ කිසිදු නීතියක් හෝ රීතියක් උල්ලංඝණය නොකළ බව අවධාරණය කළ නායක මහේල ජයවර්ධන, කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමන් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයේ නීති පොත් පෙරලා බැලූ බවද සඳහන් කළේය.

නීතිය වෙනස් වේවි

"හුඟක් වෙලාවට මේ නීතියත් දැන් වෙනස් වේවි සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමයි. කොහොම වුනත් ලෝක ශූරතාවලිය ඉවර වෙන්න කලින් එහෙම වෙනස් වෙන එකක් නැහැ කියල මම හිතනවා. සමහර වෙලාවට මට දැන් අයිසීසී එකෙන් කෝල් එකක් ඒවි කරුණු විමසලා," යන්නයි, ඊළඟ තරඟයේදීත් එවැනිම උපක්‍රමයක් යොදාගන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ.

මේ අතර තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදෙන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ ලේඛක ඇන්ඩෘ ප්‍රනාන්දු, ඕවර විස්ස යැවීම සඳහා කිසියම් ප්‍රමාදයක් වීම මඟින් තරඟයේ ප්‍රතිඵලයට කිසිදු හානියක් නොවූ අතර එය ක්‍රීඩාලෝලීන්ටද බාධාවක් නොවූයේ නම්, එවැනි සුළු වරදකට තරඟ තහනමක් වැනි දැඩි දඬුවමක් දීම සාධාරණදැයි ප්‍රශ්න කරයි.

නායක ජයවර්ධන එම කරුණු හෙළි කළේ ලෝක ශූර එංගලන්තයට එරෙහිව විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමෙන් අනතුරුවයි.

නියමිත පන්දු ඕවර පහ අවසානයේ ලකුණු 31 කට කඩුලු පහක් දවාගත් ලසිත් මාලිංග තරඟයේ වීරයා ලෙසින් නම් කෙරුණු අතර, ලකුණු 26 කට කඩුලු දෙකක් දවාගනිමින් දහනම හැවිරිදි අකිල ධනංජය දැක්වූ දස්කම්ද කැපී පෙනුණි.

ලෝක ශූරතාවලිය අතරවාරයේ ලොව දක්ෂතම විස්සයි විස්ස කණ්ඩායම ලෙසින් ද නම් කෙරුණු ශ්‍රී ලංකාව, සුපිරි අටදෙනාගේ වටයේදී අපරාජිතව ඉදිරියට ගිය එකම කණ්ඩායම බවට ද පත්වෙමින් ප්‍රබල දස්කම් දක්වමින් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අවසාන පූර්ව තරඟයට සහභාගී වීමට නියමිතය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.