අනුග්‍රහයක් නොලැබුනොත් අනාගතය අනතුරේ - කැරම් ලෝක ශූරයා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 6 අඟහරුවාදා - 11:01 GMT
Carrom board

ශ්‍රී ලංකාවේ පැවති ලෝක ශූරතාවලියේදී ඒකල අංශයෙන් ලෝක ශූරතාවය දිනාගැනීමට නිශාන්ත ප්‍රනාන්දු සමත් විය

පාසල් කිහිපයක දරුවන්ට කැරම් ක්‍රීඩාව උගන්වා දිවි ගැට ගසා ගන්නා තමාට රැකියාවක් සහ අනුග්‍රහයක් නොලැබෙන්නේ නම් ක්‍රීඩාවෙන් සමුගැනීමට පවා සිදු විය හැකි බවට ලෝක ශූර නිශාන්ත ප්‍රනාන්දු අනතුරු අඟවයි.

ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායමේ නායක නිශාන්ත ප්‍රනාන්දු සති අන්තයේ ශ්‍රී ලංකාවේ පැවති ලෝක ශූරතාවලියේදී ඒකල අංශයෙන් ලෝක ශූරතාවය දිනාගැනීමට සමත් විය.

කෙසේ වුවත්, දෙදරු පියකු වන තමාට පුහුණුවීම් ඇතුළු සියලු කටයුතු සඳහා සහාය වූයේ ඥාතීන් සහ මිතුරන් බවයි, ඔහු පවසන්නේ.

"මම ඇත්තටම මානසිකව වැටිලා ඉන්නේ. මට රැකියාවක් ලැබුනොත් මගේ මානසිකත්වය තවත් හොඳ මට්ටමට හැරෙනවා ඇත්තටම මේක ඉදිරියටත් රැක ගැනීම තමයි මගේ බලාපොරොත්තුව," ඔහු බීබීසී සංදේශයට පැවසීය.

ශ්‍රී ලංකාවේ පැවති කැරම් ලෝක ශූරතාවලියේදී මෙතෙක් ලෝක ශූරතාවය ඉසිලූ ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වීම පිළිබඳව කණගාටු වන බව පවසන කණ්ඩායමේ නායකයා කෙසේ නමුත් 2016 දී එංගලන්තයේ පැවැත්වීමට යෝජිත කැරම් ලෝක ශූරතාවලියේදී ඒකල මෙන්ම යුගල අංශවලින් මතු නොව කණ්ඩායමක් වශයෙන්ද ලෝක ශූරතාවය දිනා ගැනීම තම බලාපොරොත්තුව බවද සංදේශයට කියා සිටියේය.

තම ජයග්‍රහණයත් සමඟ කැරම් ක්‍රීඩාව කෙරෙහිද ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය පළ වීමට ඉඩ තිබෙන බව පවසන ලෝක ශූරයා, එමඟින් කැරම් ක්‍රීඩාවට දක්ෂතා දක්වන නව පරපුරක් බිහිවනු ඇතැයිද බලාපොරොත්තු පළ කරයි.

එමෙන්ම කැරම් ක්‍රීඩාව සාක් සහ ඔලිම්පික් මට්ටමේ පවා නියෝජනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව උත්සාහ කළ යුතු බවද ඔහු කියා සිටියේය.

"ලංකාවට ලෝක ශූරතාවය නැත්නම් අනු ශූරතාවය ලබාගන්න පුළුවන් ක්‍රීඩාවක් කැරම් කියන්නේ. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත් අනෙකුත් බලධාරීනුත් කටයුතු කරනවා නම් මම හුඟාක් සතුටු වෙනවා," බව ද නිශාන්ත ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.