ස්නූකර් ශූරයාට පහසුකම් සැලසීම 'සංගමයේ වගකීමක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 26 සඳුදා - 15:46 GMT

බල්ගේරියාවේ පැවැත්වෙන ලෝක ස්නූකර් ශූරතාවලියකට සහභාගි වෙමින් සිටින ස්නූකර් ජාතික ශූර සුසන්ත බොතේජුට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම ශ්‍රී ලංකා ස්නූකර් සංගමයේ වගකීමක් බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

"ලෝක කුසලානේ ගේන්නම තමයි ගියේ, ඇඳන් යන්න ඇදුමක් ගන්නවත් සල්ලි තිබ්බේ නෑ, දුකක් වින්දේ කුසලානේ ලංකාවට ගෙන්න නමුත් අපිට මෙහෙමයි සලකන්නේ"

සුසන්ත බොතේජු බල්ගේරියාවේදී

ක්‍රීඩා අධ්‍යක්ෂ රංජනී ජයකොඩි බීබීසී සංදේශයට ඒ බව පැවසුවේ මුල් තරඟ කිහිපය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඊළඟ තරඟ සඳහා රැඳී සිටීමට හෝටල් ගාස්තු පවා ගෙවා ගත නොහැකි තත්ත්වයකට මුහුණ දී සිටින බවට සුසන්ත බොතේජු බල්ගේරියාවේ සිට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්.

තරගාවලියේ පළමු වටයේදීම බල්ගේරියාව හා ජර්මනිය පරාජය කළ බොතේජු අවසාන පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලබා සිටින නමුත් හෝටලයට ගෙවීමට මුදල් නැති නිසා අවසන් පූර්ව වටයේ තරග අතහැර ඔහුට ලංකාවට එන මෙන් සංගමය නියෝග කොට ඇතැයිද ඔහු පවසයි.

"ලෝක කුසලානේ ගේන්නම තමයි ගියේ, ඇඳන් යන්න ඇදුමක් ගන්නවත් සල්ලි තිබ්බේ නෑ, දුකක් වින්දේ කුසලානේ ලංකාවට ගෙන්න නමුත් අපිට මෙහෙමයි සලකන්නේ," ඔහු පවසා තිබුණි.

සභාපතිගේ සංචාරය

බොතේජු සහ නරේෂ් සමරවික්‍රම මෙම ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනායි.

"අපි ඉල්ලීමක් කළා සංගමය මැදිහත් වෙලා ඔහුට අවශ්‍ය ආහාර, නවාතැන් සපයා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා අනුග්‍රාහකයන් හොයාගෙන"

ක්‍රීඩා අධ්‍යක්ෂ රංජනී ජයකොඩි

කෙසේ නමුත් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ ශ්‍රී ලංකා ස්නූකර් සංගමයේ ලේකම් එස් බී විද්‍යානන්ද සංදේශයට කියා සිටියේ බොතේජු තවමත් අවසාන පූර්ව වටය සඳහා සුදුසුමක් ලබා නැති බවයි. එමෙන්ම චාරිකාවේ වියදම් දැරීමට තමන්ට හැකියාවක් නොමැති බව ශූරතාවලියට පෙරාතුවම තමන් ඔහුට දැනුම් දුන් බවද ලේකම්වරයා පැවසීය.

එහෙත් ගුවන් ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා ක්‍රීඩකයන් දෙදෙනාට තමන් වියදම් ලබා දුන් බව පවසන ක්‍රීඩා අමාත්‍යාංශය සංගමයේ තර්කය ප්‍රතික්ෂේප කරයි.

"අපි ඉල්ලීමක් කළා සංගමය මැදිහත් වෙලා ඔහුට අවශ්‍ය ආහාර, නවාතැන් සපයා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා අනුග්‍රාහකයන් හොයාගෙන," ක්‍රීඩා අධ්‍යක්ෂ රංජනී ජයකොඩි පවසන්නීය.

ගුවන් ටිකට්පත පමණක් ප්‍රමාණවත් නොමැතිනම් මෙම සංචාරයට සහභාගි නොවන මෙන් සංගමය කළ අනතුරු ඇඟවීමද සාධාරණ නොවන බවයි ය පවසන්නේ.

සංගමයේ සභාපති රාජාබ්ඩීන්ද ශූරතාවලිය නැරඹීම සඳහා බල්ගේරියාවට යාමට සූදානමින් සිටින බව පවසන ක්‍රීඩා අධ්‍යක්ෂවරිය, එම සංචාරය සඳහා වැයවන මුදල ක්‍රීඩකයන් වෙනුවෙන් යෙදවීම වඩා යෝග්‍ය බවද සංදේශයට කියා සිටියාය.

බල්ගේරියාවේ සිටින සුසන්ත බොතේජු ඇමතීම සඳහා සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.