පහසුකම් ලැබුනා නම් කුසලානය දිනනවා - දෘශ්‍යාබාධිත කණ්ඩායම

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 12 බදාදා - 12:43 GMT
Blind cricket

ලක්ෂ විස්සක මුදලක් අවශ්‍යව තිබුණත් ක්‍රීඩා අමාත්‍යාංශය ලබා දුන්නේ ලක්ෂ දෙකක මුදලක් බවයි කණ්ඩායමේ කළමනාකරු පවසන්නේ

තම කණ්ඩායමට නිසි පහසුකම් ලැබුණේ නම් ලෝක කුසලානය පවා දිනා ගැනීමට තම කණ්ඩායමට හැකියාව තිබුණු බව දෘශ්‍යාබාධිත ලෝක කුසලානයට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පවසයි.

ලෝක කුසලානයට සහභාගි වීම සඳහා රුපියල් ලක්ෂ විස්සක මුදලක් තමන්ට අවශ්‍යව තිබුණු බව පවසන කණ්ඩායමේ කළමනාකරු දොන් සරත් කුමාරසිරි ඇතුලත්මුදලි, ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ලබා දුන්නේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් බවද බීබීසී සංදේශයට කියා සිටියේය.

මේ තත්ත්වය යටතේ තමන්ට උපකාර කරන මෙන් මාධ්‍ය ඔස්සේ ඉල්ලීමක් කිරීමට සිදුවූ බවත්, එහිදී අර්ජුන රණතුංග, තිලකරත්න ඩිල්ශාන් සහ නායක මහේල ජයවර්ධන ඇතුළු සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමන්ට උපකාර කළ බවත් ඔහු පැවසීය.

හමුදා සෙබළුන් සිවු දෙනකුද කණ්ඩායමේ සාමාජිකයන් බැවින් ඔවුන්ගේ ගුවන් ටිකට්පත් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවද ආධාර කොට තිබේ.

අවසාන පූර්ව තරඟය

"උදාහරණයක් විදියට පාකිස්තාන කණ්ඩායමේ ඉන්නේ වෘත්තීය ක්‍රීඩකයෝ. ඒ අයට පාලක මණ්ඩලයෙන් වැටුප් ගෙවනවා. ඉන්දියාව තරඟාවලියට කලින් දවස් විස්සක පුහුණු කඳවුරක් පැවැත්වුවා"

කණ්ඩායමේ කළමනාකරු දොන් සරත් කුමාරසිරි ඇතුලත්මුදලි

බැංගලෝර් නුවර පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන පූර්ව තරඟයේදී ඉන්දියාවට පරාජය වීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරතාවලියෙන් ඉවත්ව යාමට සිදුවිය.

මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේදී කදුළු හතක් දැවී ලකුණු 319 ක් රැස් කිරීමට සමත්විය.

එයට ප්‍රතිචාර වශයෙන් පන්දු ඕවර 20 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 195 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ චන්දන දේශප්‍රිය නොවී ලකුණු 111 ක් රැස් කිරීමත් ඉන්දීය පිලේ ජේ රෙඩ්ඩි ලකුණු 134 ක් රැස් කිරීමත් තරඟයේ කැපී පෙනුණු සිදුවීම්.

"අපි ආවේ දුෂ්කර ගමනක්. ඒ නිසා අපි සතුටු වෙනවා මෙච්චර දුර ආපු එක ගැන," යනුවෙන්ද කණ්ඩායමේ කළමනාකරු දොන් සරත් කුමාරසිරි ඇතුලත්මුදලි සංදේශයට ප්‍රකාශ කළේය.

කණ්ඩායමේ මූල්‍ය ප්‍රශ්නය විසඳුනේ සංචාරය සඳහා දින දෙකක් පමණක් ඉතිරිව තිබියදී බව පවසන කළමනාකාරවරයා, ඒ ප්‍රශ්න නොතිබුනේ නම් කණ්ඩායමට පුහුණුවීම් සඳහා තවත් කාලය ඉතිරි විය හැකිව තිබූ බව ද පෙන්වා දෙයි.

"උදාහරණයක් විදියට පාකිස්තාන කණ්ඩායමේ ඉන්නේ වෘත්තීය ක්‍රීඩකයෝ. ඒ අයට පාලක මණ්ඩලයෙන් වැටුප් ගෙවනවා. ඉන්දියාව තරඟාවලියට කලින් දවස් විස්සක පුහුණු කඳවුරක් පැවැත්වුවා. ඉතින් අපි මෙච්චර දුරක් ආවේ මේ වගේ කණ්ඩායම් එක්ක තරඟ කරලා," දොන් සරත් කුමාරසිරි ඇතුලත්මුදලි තවදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් අවසාන පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමෙන් අනතුරුව හෝ දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන්ගේද අවධානය පළවනු ඇතැයිද ඔහු බලාපොරොත්තු පළ කළේය.

පාකිස්තානය සහ එංගලන්තය අතර පැවති අනෙක් අවසාන පූර්ව තරඟයේදී එංගලන්තය රැස් කළ ලකුණු 182 ඕවර 13 කදී හඹා යාමට පාකිස්තාන පිල සමත් වීමත් සමගම ඉන්දියාව සහ පාකිස්තානය හෙට අවසාන මහා තරඟයේදී ලෝක කුසලානය වෙනුවෙන් තරඟ වැදීමට නියමිතය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.