නිසි පුහුණුව ලබා දුන්නොත් ලෝක ශූරතා දිනනවා - ස්නූකර් ශූරයා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 25 සිකුරාදා - 11:09 GMT
Snooker

මෙය තමන් පමණක් නොව ශ්‍රී ලංකාවේ ස්නූකර් ක්‍රීඩා කරන ඉදිරි පරපුර වෙනුවෙන් ද කෙරෙන ආයාචනයක් බව ද ජාතික ස්නූකර් ශූරයා පවසයි

ස්නූකර් ක්‍රීඩකයන්ට නිසි ජාත්‍යන්තර පුහුණුවක් ලබා දීමට පාලක මණ්ඩලය කටයුතු කරන්නේ නම් ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වීමට තරම් දක්ෂ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ සිටින බව ජාතික ස්නූකර් ශූරයා පවසයි.

සුසන්ත බොතේජු බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ පසුගිය නොවැම්බරයේ පැවැත්වුණු ලෝක ශූරතාවලියට තරඟ වැදුණු කණ්ඩායමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ලබා නොදුන් බවට ස්නූකර් පාලක මණ්ඩලයට එල්ල වූ චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේදී.

ඒ පිළිබඳව මාධ්‍ය අවධානය පළවීමෙන් අනතුරුව අවශ්‍ය මුදල් ලබාදීමට කණ්ඩායමේ කළමනාකරු මැදිහත් වූ බව පවසන සුසන්ත බොතේජු, සමස්තයක් වශයෙන් පාලක මණ්ඩලයේ ක්‍රියාදාමය දැඩි විවේචනයට ලක් කරයි.

"යම්කිසි ක්‍රීඩකයෙක් ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් වුනාට පස්සේ ඒ ක්‍රීඩකයව ලෝක මට්ටමට ගෙනියන්න පුළුවන් බලධාරීන්ට," බවයි, ඔහු පවසන්නේ.

රයන් සෝමරත්න

"රයන් සෝමරත්නට තාම අවුරුදු 23 යි. එයාට අවුරුද්දක් දෙන්න කියන්න එංගලන්තේ ගිහිල්ල පුහුණුවීම් කරන්න. අනිවාර්යයෙන්ම එයා ලෝකේ අන්තිම අට දෙනාට වත් තේරේවි"

ශ්‍රී ලංකාවේ ස්නූකර් ජාතික ශූරයා, සුසන්ත බොතේජු

ක්‍රීඩකයන් හෝ ක්‍රීඩාව පිළිබඳව පාලක මණ්ඩලයට අවබෝධයක් නොමැති වීම හේතුවෙන් ස්නූකර් ක්‍රීඩාව "අසරණ" වී ඇති බව වසර 15 ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ස්නූකර් ජාතික ශූරයා ගේ අදහසයි.
"අද ක්‍රීඩා සංගම්වලට එන නිලධාරීන් එන්නේ තමන්ගේ තත්ත්වය, තමන්ගේ බිස්නස් ගැන හිතාගෙන."

ඉදිරි වසර දෙක ඇතුලත තමාගේ පුහුණුවීම් සඳහා අත හිත දෙන මෙන් දිගින් දිගටම පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටියද මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බව ද සුසන්ත බොතේජු සඳහන් කරයි.

"මම කියන්නේ මට මාස තුනකට, පහකට ජාත්‍යන්තර ක්‍රීඩකයන් එක්ක පුහුණුවෙන්න සලසල දෙන්න. මම හිතන්නෙ නෑ අපි පැයක්වත් පුහුණු වෙනවා කියල සංගමයේ අනුග්‍රහයෙන්."

මෙය තමන් පමණක් නොව ශ්‍රී ලංකාවේ ස්නූකර් ක්‍රීඩා කරන ඉදිරි පරපුර වෙනුවෙන් ද කෙරෙන ආයාචනයක් බව ද ජාතික ස්නූකර් ශූරයා සංදේශයට පැවසීය.

"රයන් සෝමරත්නට තාම අවුරුදු 23 යි. එයාට අවුරුද්දක් දෙන්න කියන්න එංගලන්තේ ගිහිල්ල පුහුණුවීම් කරන්න. අනිවාර්යයෙන්ම එයා ලෝකේ අන්තිම අට දෙනාට වත් තේරේවි. ස්නූකර් විතරක් නෙවෙයි, හැම ක්‍රීඩාවකින්ම ලංකාවේ ඉන්න දක්ෂම ක්‍රීඩකයා රයන්," බව ඔහුගේ මතයයි.

තමාගේ මෙම විවේචනය ස්නූකර් පාලක මණ්ඩලයේ ක්‍රියා කලාපය පිළිබඳව විනා කිසිසේත්ම ක්‍රීඩා අමාත්‍යාංශය වෙත එල්ල කෙරෙන්නක් නොවන බවද ඔහු අවධාරණය කරයි.

මෙම චෝදනා පිළිබඳව කරුණු විමසීම සඳහා බීබීසී සංදේශය පාලක මණ්ඩලයේ ලේකම් එස් බී විද්‍යානන්ද ඇමතූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.