චැම්පියන්ස් ක්‍රිකට් ශූරතාවලියේ ශ්‍රී ලංකා සටන ඇරඹෙයි

Sri Lanka opening batsman Thilakaratne Dilshan (file photo)
Image caption මේ වසරේ පැවැත්වෙන්නේ අවසාන අයිසීසී චැම්පියන්ස් ශෝර්රතාවලිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ

අයිසීසී චැම්පියන්ස් ක්‍රිකට් ශූරතාවලියේ (2013) ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය, මෙවර තරඟාවලියේ සිව්වැනි තරඟයයි.

වේල්සයේ කාඩිෆ් නගරයේ සොෆියා ක්‍රීඩාංගනයේ දී නවසීලන්තයට එරෙහිව තරඟ වදිමින් ශ්‍රී ලංකාව කුසලානය දිනා ගැනීමේ සටන අරඹයි.

මෙවර අයිසීසී චැම්පියන්ස් තරඟාවලියට රටවල් අටක් සහභාගි වෙන අතර, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් දෙකකට ඊට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ඒ සිම්බාබ්වේ සහ බංග්ලාදේශයයි.

2013 තරඟා වලියට සහභාගි වන රටවල් අට 'ඒ' සහ 'බී' යනුවෙන් කාණ්ඩ දෙකකට බෙදා වෙන්කර ඇති අතර, ඉන් ශ්‍රී ලංකාව අයත් 'ඒ' කාණ්ඩයේ සෙසු රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තයයි.

ඉතිහාසය

එක්දින ක්‍රිකට් තරඟ වාර්තාවේ ඒ ඒ රටවල ජාතික කණ්ඩායම් ලබා සිටින තත්ත්වය, අයිසීසී චැම්පියන්ස් තරඟාවලියට සුදුසුකම් ලැබීම සඳහා මිනුමයි.

එහි ඉහලින්ම සිටින රටවල් අටයි මෙවර තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබ සිටින්නේ.

එම ලැයිස්තුවේ අඩුම ශ්‍රේණි ලැබ සිටීමයි, සිම්බාබ්වේ සහ බංග්ලා දේශයට මෙවර තරඟාවලිය අහිමිවීමට හේතුව.

අයිසීසී චැම්පියන්ස් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කෙරුනේ 1998 වසරේදීයි.

එහෙත් එදා තරඟාවලිය හැඳින්වුනේ අයිසීසී නොකවුට් ICC Knock Out tournament යන නමින්.

අවුරුදු දෙකකට වරක් තරඟාවලිය සංවිධානය කෙරුණ අතර, 2004 පටන් එය අයිසීසී චැම්පියන්ස් තරඟාවලිය යනුවෙන් නම් කෙරුණි.

2008 දී පැවැත්වීමට නියමිතව තිබුන තරඟාවලිය 2009ට කල් තැබුන අතර ඉන් අවුරුදු හතරකට පසුවයි, මෙවර 2013 තරඟාවලිය පැවැත්වෙන්නේ.

මේ වසරේ පැවැත්වෙන්නේ අවසාන අයිසීසී චැම්පියන්ස් ශූරතාවලිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

1998 පටන් මේවනවිට චැම්පියන්ස් තරඟාවලීන් හයක් පවත්වනු ලැබ ඇති අතර, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියාව වරින් වර ශූරතාවය දිනා ඇත.

මෙතෙක් එම අවස්ථාව අහිමි රටවල් වන්නේ, එංගලන්තය, පාකිස්තානය, සිම්බාබ්වේ සහ බංග්ලා දේශයයි.

බලාපොරොත්තු

2002 තරඟාවලියේ සත්කාරක රට වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබුවත් අධික වර්ෂාව නිසා පිළිවෙලින් දින දෙකක්ම තරඟය පැවැත්විය නොහැකි වූයෙන්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එම වසරේ සම ශූරතාවය දිනා ගත් රටවල් හැටියට ප්‍රකාශයට පත් කෙරුණි.

අයිසීසී චැම්පියන්ස් ශූරතාවය දෙවරක් දිනාගත් එකම රට දැනටත් එය දරන ඕස්ට්‍රේලියාවයි.

මෙවර අයිසීසී චැම්පියන්ස් ශූරතාවය දිනාගැනීම රටකට හෝ කණ්ඩායමකට වඩාත් වැදගත් වන්නේ එය එහි ඉතිහාසයේ අන්තිම තරඟාවලිය වීම හේතුවෙන්.

ක්‍රීඩාවේ ස්වභාවය හැමවිටම අනපේක්ෂිත තත්වයන් ද මතුවීම වන හෙයින් මෙවරත් ක්‍රීඩාලෝලීන් සිටින්නේ විවෘත මනසකින් වන බවයි පෙනී යන්නේ.

එහෙත් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් සාර්ථක අයිපීඑල් පොරයකින් අනතුරුව, අයිසීසී චැම්පියන් තරඟාවලිය සඳහා මෙවර එංගලන්තයට පැමිණ සිටින්නේ එක්තරා ජවයකින් වන බව නම් කාටත් නොරහසක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර