වර්තමානයේ හොඳම නායකයා ඇන්ජලෝ මැතිව්ස් - සනත්

Sanath Jayasuriya
Image caption ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟයේදී වඩා හොඳ තණතිල්ලක් ලැබෙනු ඇතැයි ජයසූරිය බලාපොරොත්තු පළ කරයි

මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට වඩාත්ම සුදුසු නායකයා ඇන්ජලෝ මැතිව්ස් බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය පවසයි.

නායකත්වයක් භාරගත් විට ටික කලක් යනතුරු ඕනෑම ක්‍රීඩකයකුට එහි පීඩනය දැනෙන බව පවසන ඔහු, මැතිව්ස් ඉතා ඉක්මනින්ම එම පීඩනය දරා ගැනීමට පුරුදු වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

"මට වුනත් ඔය ප්‍රශ්නේ මාස 5-6 ක් යනකම් තිබුනා. මේක උඩට යන්න, යන්න මම හිතනවා ඒක හරි හුදෙකලා තැනක්. මම හිතන්නේ එයාටත් ඒක තියෙනව ඇති. ඒත් ඕක ටික දවසක් යනකොට එයාගෙන් යනවා," ඔහු පැවසීය.

තේරීම් කමිටුව සභාපති සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේදී බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

'දේශපාලන බලපෑම්'

ලබන බ්‍රහස්පතින්දා ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන අවසාන පූර්ව තරඟයේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වුණු තරඟයේදී ට වඩා හොඳ තණතිල්ලක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

විශේෂයෙන්ම දැනට දස්කම් අතර නොසිටින තිසර පෙරේරා යලිත් වරක් ඉන්දියාවට එරෙහි තරඟය පිණිස තෝරා ගැනීමට බලාපොරොත්තු වන්නේ දැයි කළ විමසුමකට පිළිතුරු දුන් ඔහු පැවසුවේ, කණ්ඩායම පිලිබඳ අවසාන තීන්දුව ගනු ලබන්නේ කාඩිෆ් නුවරට ගොස් පුහුණුවීම්වල යෙදීමෙන් අනතුරුව බවයි.

කෙසේ නමුත් තුන් ඉරියවුවෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටීම කණ්ඩායමට ආශීර්වාදයක් බව තේරීම් කමිටු සභාපතිවරයාගේ අදහසයි.

පිතිකරුවන් හත් දෙනකු සහ පන්දු යවන්නන් සිවු දෙනකු සාමාන්‍යයෙන් කණ්ඩායමේ සංයුතිය විය යුතු බව තම මතය බවද ඔහු සඳහන් කළේය.

සංදේශයේ ෆේස්බුක් අඩවිය ඔස්සේ කැලුම් ලොරෙන්සු යොමු කොට තිබුණු ප්‍රශ්නයකට පිළිතුරු දුන් සනත් ජයසූරිය කියා සිටියේ, තමා පදවිය භාරගත් දින සිට ගතව ගිය මාස පහක පමණ කාලය තුල තේරීම් කමිටුවට හෝ ක්‍රිකට් ක්‍රීඩාවට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර