ක්‍රිකට් විනිසුරුවන්ට තරඟ තහනමක්

Sri Lanka Cricket
Image caption ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ හදිසි රැස්වීමකදීයි, එම තීන්දුවට එළැඹී තිබෙන්නේ

විස්සයි විස්ස ලෝක කුසලානය සමයේ තරඟ පාවාදීමේ චෝදනා ලබා සිටි විනිසුරුවන්ට තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දු කොට තිබේ.

මේ අනුව සාගර ගාල්ලගේ විනිසුරුවරයාට අවුරුදු දහයක තහනමක් සහ මොරිස් ඩෙලා සිල්වා විනිසුරුවරයාට අවුරුදු තුනක තහනමක් පැනවෙන අතර, ගාමිණී දිසානායක විනිසුරුවරයාට දැඩිව අවවාද කොට ඉදිරි වසරක කාලය තුල ඔහු විනිසුරු සේවයේ නිරත නොකිරීමට තීරණය කළ බව ක්‍රිකට් ආයතනය පවසයි.

විනිසුරුවන්ට එරෙහි චෝදනා විභාග කිරීම පිණිස පත් කළ කමිටුවේ නිර්දේශ සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ හදිසි රැස්වීමකදීයි, එම තීන්දුවට එළැඹී තිබෙන්නේ.

අරූස් ඉල්ලා අස්වෙයි

එම විනිසුරුවරුන් මෙන්ම විස්සයි විස්ස තරඟාවලියට සහභාගිවූ පකිස්තානු සහ බංග්ලාදේශ ක්‍රිකට් විනිසුරුවන් කිහිපදෙනෙකු අල්ලස් ලබා ගනිමින් තරඟ පාවා දීමට එකඟ වී ඇති බව ඉන්දියා ටීවී ආයතනයේ ගවේශනාත්මක වැඩසටහනකින් හෙළිදරවු කෙරිණ.

ඉන් අනතුරුව චුදිත විනිසුරුවන්ට තරඟ තහනම් පැනවීමට පාකිස්තාන සහ බංග්ලාදේශ බලධාරීහු පියවර ගත්හ.

කෙසේ නමුත් තමන්ට එරෙහි චෝදනා සත්‍යයෙන් තොර බවයි, චෝදනා එල්ල වූ අවස්ථාවේ විනිසුරු ගාමිණී දිසානායක කියා සිටියේ.

මේ අතර කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින විනිසුරු කමිටුවේ සභාපති ඒආර්එම් අරූස් ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අවසන් වන තුරු පදවියෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දැරූ සියලු පදවිවලින්ද ඔහු ඉල්ලා අස්වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර