දකුණු ආසියානු පාපන්දු කිරුළ ඇෆ්ඝනිස්තානයට

දකුණු ආසියානු පාපන්දු ශුරතා තරඟාවලියේ අවසාන මහා තරඟයේදී ඉන්දියාව පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම සමත් විය

නේපාලයේ කත්මන්ඩු අගනුවර පැවැත්වුන මෙම අවසන් තරඟයේදී ඇෆ්ඝනිස්තානය ගෝල් දෙකක් වාර්තා කළ අතර, ඉන්දීය පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෝ එක ම ගෝලයක් වත් ලබා ගැනීමට අසමත් වුහ.

මෙය ඉන්දියාව දකුණු ආසියානු තරඟාවලියේ අවසන් තරඟයක් සඳහා සුදුසුකම් ලද නව වැනි අවස්ථාවයි.

ඇෆ්ඝන් ක්‍රීඩකයන් මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔල්වරසං නැගුවේ එය සමස්ථ ඇෆ්ඝන් ජාතියේ ජයග්‍රහණයක් යයි පවසමින්.

දස දහස් ගණනක් පාපන්දු ලෝලීන් රුපවාහිනිය ඔස්සේ තරඟය නරඹන ලද බවත් වාර්තා වෙයි.

සිය කණ්ඩායමේ ජයග්‍රහණය වාර්තා වූ සැණින් වීදියට බට ඇෆ්ඝන් රියැදුරන් රථ වාහනවල නලා හඬවන්නට පටන් ගත් අතර ඇතැමුන් අහසට වෙඩි තබන ලද බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක තත්වය සලකා එම වෙඩි තැබීම් නතර කිරීමට ආරක්ෂක අංශ වලට සිදු වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට මෙම තරඟාවලියෙන් කල් තබාම ඉවත් වීමට සිදු විය.