ලංකාවට උදවු එපා: 'ඉන්දිරා ගාන්ධි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලුවා'

  • 2014 ජනවාරි 17
Image caption 'හමුදා ආධාර සහ කැරලි මර්ධන ආධාර පමණක්, දේශපාලන අර්බුදයකින් ගොඩ ඒම පිණිස ප්‍රමාණවත් නොවේ'

ශ්‍රී ලංකා ආණ්ඩුවට යුද හමුදා ආධාර ලබා දීම නවත්වන මෙන් එවක ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි අසූව දශකයේදී බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටි බව අලුත්ම වාර්තාවකින් හෙළි වෙයි.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ආණ්ඩුවේ පැරණි ලිපිලේඛන උපුටා දක්වමින් ගාඩියන් පුවත්පත විසින් පළ කොට ඇති වාර්තාවකයි, ඒ බව සඳහන් වෙන්නේ.

ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම පිණිස ජනාධිපති ජේආර් ජයවර්ධන විසින් කැඳවා තිබුණු සර්ව පාක්ෂික සමුළුවේදී දෙමළ ජනතාවගේ ගැටලුවට තිරසාර විසඳුමක් සොයා ගන්නා මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන මෙන් ඉන්දීය අගමැතිනිය බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර් ගෙන් ඉල්ලා සිටි බවද ගාඩියන් පුවත්පත වාර්තා කරයි.

"හමුදා ආධාර සහ කැරලි මර්ධන ආධාර පමණක්, විසඳිය යුතු දේශපාලන අර්බුදයකින් ගොඩ ඒම පිණිස ප්‍රමාණවත් නොවේ," යනුවෙන් අගමැතිනි ගාන්ධි අගමැතිනි තැචර් වෙත යැවූ පණිවුඩයේ සඳහන් කොට තිබේ.

හමුදා පුහුණුව

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර සිදු වූ අදහස් හුවමාරුව ප්‍රකාශයට පත් වන්නේ, අම්රිත්සාර් නුවර රන් දෙවොලට ප්‍රහාරයක් එල්ල කිරීමට මාස කිහිපයකට ප්‍රථම බ්‍රිතාන්‍ය විශේෂ හමුදා ඛණ්ඩයක් විසින් ඉන්දීය හමුදා භටයන් පුහුණු කරන ලද බව දැක්වෙන ලිපිලේඛන අනාවරණය වීමෙන් දින කිහිපයකට පසුවයි.

Image caption ශ්‍රී ලංකාවට හමුදා පුහුණුව ලබා දීමට තැචර් ආණ්ඩුව අනුමැතිය දී තිබේ

රන් දෙවොලට ප්‍රහාරය එල්ල වූ සමයේම, ශ්‍රී ලංකාවේ හමුදා පුහුණු කිරීම සඳහා බ්‍රිතාන්‍ය විශේෂ හමුදා ඛණ්ඩවල සේවය කොට විශ්‍රාම ගිය සෙබළුන් ගෙන් සමන්විත බ්‍රිතාන්‍ය සමාගමකට බලධාරීන්ගේ අනුමැතිය පළ වී තිබෙන බවත් ගාඩියන් පුවත්පත වාර්තා කරයි.

ඒ වන විට දෙමළ කොටි සංවිධානය මර්දනය කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව උත්සාහ දරමින් සිටියේය.

බ්‍රිතාන්‍ය සමාගම ශ්‍රී ලංකාවේ හමුදා පුහුණු කිරීම පිළිබඳව මතභේද මතු වී ඇති බව සහ විශේෂයෙන්ම ඉන්දීය ආණ්ඩුව එයට විරෝධය පළ කොට තිබෙන බව එවක විදේශ ලේකම් ජෙෆ්රි හෝව් ගේ ලේකම්වරයා අගමැතිනි තැචර් ගේ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දී තිබේ.

එහෙත් එය පෞද්ගලික සමාගමක වාණිජ කටයුත්තක් හෙයින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව එයට සම්බන්ධ නැතැයි දැනුම් දුන් බවද ලේකම්වරයා සිය ලිපියේ සඳහන් කොට තිබේ.

රන් දෙවොලට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ වූ බවට එල්ල වන චෝදනා ඇතුළු අලුත් ලිපිලේඛනවල අනාවරණයන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් නියෝග කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර