මාධ්‍යවේදියාට පහර දීමට 'හමුදාව සම්බන්ධ නෑ'

Image copyright cricturf.com
Image caption ෂානක අමරසිංහ, සීආර් සමාජයේ ලේකම්වරයාද වේ

ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සහ සීආර් කණ්ඩායම අතර පැවති රග්බි තරඟයේ විස්තර විචාරක ෂානක අමරසිංහට පහර දීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය ඒ බව කියා සිටියේ පසුගිය සෙනසුරාදා වැලිසර නාවික හමුදා පිටියේ පැවැත්වුණු තරඟයෙන් අනතුරුව පස් දෙනෙකුගේ කණ්ඩායමක් තමන්ට පහර දුන් බවට මාධ්‍යවේදියා පොලිසියට කොට තිබෙන පැමිණිල්ල පිළිබඳව විමසූ අවස්ථාවේදී.

හමුදා කඳවුරේ මෝටර් රථ ගාලේදී ඔවුන් තමන්ට පහර දී, බිම දමා ඉන් අනතුරුව පා පහර එල්ල කළ බව ඔහුගේ ට්විටර් පණිවුඩයක දැක්වේ.

Image caption ජනපති පුත් රෝහිත රාජපක්ෂ, නාවික හමුදා කණ්ඩායමේ නායකත්වය දැරීය

තරඟය නැරඹීම පිණිස ජනාධිපතිවරයාද පැමිණ සිටි අතර, එදින නාවික හමුදා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ජනපතිවරයාගේ බාල පුත් රෝහිත විසින්. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ යෝෂිත රාජපක්ෂ ද කණ්ඩායමට ක්‍රීඩා කළහ.

තමන්ට පහර දුන් ආකාරය මිලිටරි පොලිසිය සහ නාවික හමුදා භටයන්ද දුටු බව ෂානක අමරසිංහ ප්‍රකාශ කරයි. ඔහුගේ මිතුරන් කෑගැසීමත් සමඟ ප්‍රහාරකයන් පිරිස නාවික හමුදා කඳවුරට පලා ගිය බවද ඇසින් දුටුවෝ පවසති.

එහෙත් එවැනි පිරිසක් කඳවුරට නොපැමිණි බව සංදේශයට පැවසූ කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය, ප්‍රහාරය සිදු වූයේ මෝටර් රථ ගාලේ බැවින් එය ඇසින් දුටු කිසිවකු තමන්ට හමු නොවූ බවද කියා සිටියේය.

ප්‍රහාරය පිළිබඳව සංදේශය විමසීමක් කළ අවස්ථාවේ ඒ වැඩි විස්තර හෙළි කිරීම ෂානක අමරසිංහ ප්‍රතික්ෂේප කළේය.

මීට දින කිහිපයකට ඉහත පැවති තරඟයකදී ක්‍රීඩාවේ නීති උල්ලංඝනය කරමින් නාවික හමුදා පිලට පක්ෂව තීන්දු දුන් බවට සීආර් පිල වෙනුවෙන් ෂානක අමරසිංහ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තරඟ තීරකවරයා ඉල්ලා අස් විය.

මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අමතමින් ට්විටර් පණිවුඩයක් යවන ඔහු, ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ජනප්‍රිය කිරීමේ මන්ත්‍රීවරයාගේ ව්‍යායාමයට සහාය දුන් තමන්ට එල්ල වූ ප්‍රහාරය ඉතා කණගාටුදායක බව පවසයි.

රග්බි විනිසුරුවරයකුට පහර දුන් බවට මීට ඉහතදී රෝහිත රාජපක්ෂටද චෝදනා එල්ල විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර